ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තහනම සිකුරාදා අවසන්

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (මාර්තු 16) ඉවත් කෙරෙන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පවසා ඇත.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවට ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ සහභාගී වූ අතර එහිදී අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගියදා මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශන පළවීම වැලැක්වීම සඳහා එය ද ඇතුළුව සමාජ මාධ්‍යජාල අවහිර කළ බව ආණ්ඩුව පවසා තිබිණි.


එවැනි ප්‍රකාශන පළකිරීම අවහිර කරන බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කිරීමක් ආණ්ඩුව අපේක්ෂා කළ අතර ඒ සඳහා මේ වනවිටත් එකඟතාව පළකර ඇති එම සමාගමේ නිලධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා (මාර්තු 15) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කළේය.