ඔබේ ආධාරය ඔවුන් ගේ ජීවිතයයි

දිඹුල ක්‍රිස්ටස්ෆාම් වතුයායේ වතුකම්කරු පවුලක අලුත උපන් තුන් නිවුන් සිඟිති ගැහැනු දරුවන් තිදෙනා පෝෂණය කිරීමට එම සිඟිත්තියන්ගේ දෙමව්පියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.

දික්ඔය මූලික රෝහලේදී පසුගිය ජනවාරි 29 වැනි දින උපත ලබා ඇති එම සිගිත්තන්ගේ බර අඩුකම නිසා දින කිහිපයක් ඔවුන් පේරාදෙණිය, ගම්පොළ සහ අවිස්සාවේල්ල යන මූලික රෝහල්වල ළමා ඒකකවල රඳවා තැබීමෙන් අනතුරුව නැවත දෙමව්පියන්ට භාරදී තිබේ.
දරුවන්ගේ මව වේලු සරෝජා දේවි (39) වන අතර පියා වීරන් ක්‍රිෂ්ණකුමාරන් (49) මහතායි.


එම දෙපළට මෙම සිගිත්තන්ට අමතරව පාසල් වියේ පසුවන 12 සහ 11 වියේ පසුවන තවත් ගැහැනු දරුවෝ දෙදෙනෙක්ද සිටින අතර ඔවුහු මේ වන විට හැටන් සහ කොටගල පාසල්වල අධ්‍යාපනය ලබති. දරුවන්ගේ පියා මේ වන විට පියා කොළඹ ප්‍රදේශයේ කුලී රැකියාවක නිරතව සිටින අතර මව එම වතුයායේ තේදලු නෙළන්නියක ලෙස කටයුතු කරයි. මීට අමතරව එම නිවසේ ක්‍රිෂ්ණකුමාරන්ගේ මව සහ පියාද ජීවත් වෙති.


තමත් පත්ව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ ක්‍රිෂ්ණ කුමාර් මහතා මෙසේ පවසා සිටියේය.

 ʻමට ලැබෙන සොච්චම් වැටුපෙන් සියලුම දෙනා ජීවත් වෙන්නේ. අලුත උපන් සිඟිත්තන්ට මව් කිරි ලබාදීමට තරම් ප්‍රමාණවත් මව් කිරි බිරිඳ සතුව නොමැති නිසා වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මෙම සිඟිත්තන්ට දිනකට මව් කිරිවලට අමතරව නිර්දේශිත පිටි කිරිද ලබා දෙනවා. එම කිරි පිටි ලබාගැනීමට විශාල මුදලක් වැය වන බැවින් විශාල ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන අප දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.ʼ
සිඟිත්තන්ගේ මව වන වේලු සරෝජා දේවි මහත්මිය මෙසේ පවසා සිටියාය.


ʻආර්ථික අපහසුතා මධ්‍යයේ හෝ මෙලවට බිහිවූ දරුවන් හොඳන් රැක බලා ගැනීම මගේ එකම අධිෂ්ඨානයයි. ඒ සඳහා කිසියම් අයෙකු හෝ ආයතනයක් උදවු උපකාර කරන්නේ නම් එය මහඟු පින්කමක්.ʼ


මොහුන්ගේ ලිපිනය විරන් ක්‍රිෂ්ණකුමාරන්, ක්‍රිස්ටස්ෆාම් වත්ත, කොටගල වන අතර 077-2591462 දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හකිය.