අභාවප්‍රාප්ත ජෝ සෙනෙවිරත්නගේ අවසන් කටයුතු හෙට

මාධ්‍යවේදියෙකු, පුවත්පත් කතුවරයෙකු, මානවවාදී දේශපාලන ක්‍රියාකාරිකයෙකු, හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු සහ විශිෂ්ට ග්‍රන්ථ පරිවර්තකයෙකු වූ ජෝ සෙනෙවිරත්න මහතා පසුගිය 17 වනදා අභාවප්‍රාප්ත විය.
ඒ මහතාගේ දේහයට මහජන ගෞරවය සඳහා අද (23) දින උදෑසන 8.30 සිට 24 වන සෙනසුරාදා සවස දක්වා බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තිබෙන අතර දේහය පිළිබඳ අවසාන කටයුතු හෙට (24) සවස 4 ට බොරැල්ල කණත්තේ දී සිදු කෙරේ.

දශක පහකට ආසන්න කාලයක් දේශපාලනික සහ මාධ්‍ය කටයුතුවල නිරත වූ සෙනෙවිරත්න මහතා පසුකාලීනව ඕෂෝ සංවාද පෙළ සිංහලට පරිවර්තනය කරමින් සිංහල පාඨකයාට එම සංවාද හඳුන්වා දීමේ පුරෝගාමියෙකු වූවේය.
හැටේ දශකයේ මුල් භාගයේදී කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනයට අවතීර්ණව , වෘත්තීය සටන් නායකයෙකු ලෙස සටන් කර ජාතික ගැටළු‍ව තුළ වාමාංශික ක්‍රියාධරයෙකු ලෙස ජනවාර්ගික සංහිඳියාව උදෙසා මැදිහත් වූ මූලිකයෙකි. මිය යන විට ඔහු පරිවර්තනය කොට තිබූ ග්‍රන්ථ සංඛ්‍යාව විසි පහකි.