බැසිල් එරෙහි නඩුව යළි ඇරඹෙයි උදයංග වීරතුංගටත් රතු නිවේදනයක්

පසුගිය  ජනපතිවරණ සමයේ ලක්ෂ 365 ක් වටිනා ජිඅයි යකඩ බට බෙදාදීමෙන් එම මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ජුනි 4 වැනි දා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා නියම කළේය.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා නියම කළේය.

 

උදයංග වීරතුංගට රතු නිවේදනයක්

2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවය සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊට පෙර ජාත්‍යන්තර පොලීසිය ඒ සදහා නිකුත් කර තිබුණේ නිල් නිවේදනයක්.

ඔවුන් එලෙස උදයංග වීරතුංග සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කර ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ශනයකින් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුවකට අදාළවයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයේ යුක්රේන්මාෂි සමාගමෙන් මිග් ගුවන් යානා 4 ක් මිලදී ගැනීම සහ ගුවන් හමුදාව සතුව තිබූ මිග් ගුවන් යානා 4 ක්  ඕවර්හෝල් කිරීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවයි.

එමෙන්ම, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මෙම ගණුදෙනුව සදහා මැදිහත්ව කටයුතු කර ඇති බව විමර්ශනයේදී අනාවරණ වී ඇති කරුණක්.

ඔහු විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගොස් ඇති බැංකු ගිණුම් වෙත විදේශ රටවලින් විශාල වශයෙන් මුදල් බැර වී ඇති බව ද එහිදී හෙළි වී තිබෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 1 යි දශම 7 ක පමණ ශේෂයක් සහිත අදාළ බැංකු ගිණුම් 16 ක ඉදිරි ගණුදෙනු අත්හිටුවීමට අධිකරණය නියෝග කර ඇති අතර, උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා පසුගිය ඔක්තෝම්බර් 20 වනදා විවෘත වරෙන්තුවක් නිකුත් කර සිටියේය.