මැති ඇමැති මාරුවීමේ නිල නොවන සංශෝධනය මෙන්න

 

දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේය. 

 

නමුත් යහපාලන ආණ්ඩුවේ දෙවැනි කැබිනට් සංශෝධනයේදී කැපීපෙනෙන වෙනස්කම් රැසක් සිදු කිරීමට එක්සත් ජාතික පක්‍ෂය යොමුව සිටියි. ඊයේ (22දා) එ.ජා.ප.ය සිය අමාත්‍ය ධුර ලැයිස්තුව ජනාධිපතිවරයාට යොමුකර තිබෙන අතර, එය සංශෝධනය කර නැවත යොමු කරන ලෙස ජනාධිපතිවරයා දන්වා තිබේ.

මේ හේතුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23දා) දිනයේදීද සිදු නොවනු ඇතැයි නිලනොවන ආරංචි මාර්ග වාර්තා කරයි. 

 

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු වන්නේ නම්

 

 

ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද ,

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට  මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ .

උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාගෙන්  මහමාර්ග විෂයද නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාගෙන් නීතිය හා සාමය යන විෂයද ඉවත් කෙරෙනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි.

මේ අතරේ රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ , නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන මහත්වරුන් කැබිනට් නොවන  ඇමතිවරුන් ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ .

යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්  කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන  ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ .

මේ අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුලු විෂයන් කිහිපයක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

එසේම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යධුරවල කිසිඳු වෙනසක් නොකළ යුතු බවටද එජාප නායකත්වය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

 තවද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එම විෂයට අමතරව විදේශ රැකියා අමාත්‍යධුරය ලබාදීමටද කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකගේ එම අමාත්‍යංශ විෂය යෝජිත කැබිනට් සංශෝධනයේදී වෙනස් වීමට නියමිත බවය.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා වෙත පවරා ප්‍රියදර්ශන යාපා දරන ආපදා කළමනාකරණ අමාත්‍යංශය දුමින්ද දිසානායක වෙත ලබාදීමට යෝජනා වී ඇති බව එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.