"ලිංගික අපයෝජනය" නිවැරදි වාර්තා කරණය කුමක්ද?

පසුගිය දිනවලදී වාර්තා වූ ලිංගික අපයෝජනයක් පිළිබඳ සිදුවීමක් පුවත්පත් කිහිපයක් මගින් වාර්තා කොට තිබූ ආකාරය සම්බන්ධව අපගේ යම් යම් නිරීක්ෂණයන් කිහිපයක් වේ.

1) පළමුව මේ සම්බන්ධ දිවයින ලිපිය තුළ මෙම සිදුවීම ඉදිරිපත් කිරීමේදී "ලිංගික අපයෝජනය" ලෙසින් වඩාත් නිවැරදි යෙදුමකින් සඳහන් කර තිබීම ප්‍රශංසාත්මකව පෙන්වා දිය යුතු වේ. කෙසේ නමුත් මෙහිදී මතුවන ගැටළුවක් වන්නේ මෙහිදී බරපතළ ලිංගික අපයෝජනයක් සිදුවී ඇති බව සඳහන් කර තිබියදීම, තවත් තැනක මෙම වින්දිතයා ස්වකැමැත්තෙන් සැකකරුවන් කිහිප දෙනා හා ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ඇති බව කියා සිටීමයි. මෙය සැබවින්ම කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට "කතාන්තරයක්" කීමට උත්සාහ කිරීම නිසා සිදුවන්නට ඇතැයි අනුමාන කළ හැක. කෙසේ හෝ මෙතැනදී ලිපියේ නිරවද්‍යතාවය පිළිබඳ ගැටළු මතු වෙයි.

2) දෙවෙනුව ඉරිදා මව්බිම සහ ලක්බිම පුවත්පත් තුළ මෙම පුවත සඳහා යොදා තිබූ සිරස්තල වෙත අවධානය යොමු කළ හැක. මෙවැනි පුවතක් සඳහා සිරස්තල යෙදිය යුත්තේ මෙයට වඩා සංයමයකින්ද නැතිනම් මේ ආකාරයේ සිරස්තලයන් යෙදීම ගැටළුකාරී නොවේද යන්න සැබවින්ම පාඨකයා විසින් තීරණය කළ යුත්තකි. එනිසා එම පැනය අප පාඨකයා හමුවේ තබමු.

3) තුන්වනුව ලක්බිම සහ ඉරිදා මව්බිම පුවත්පත් තුළ මේ සම්බන්ධයෙන් වූ ලිපි තුළ "දූෂණය" යන වචනය නැවත නැවතත් භාවිතා වේ. මේ සඳහා වඩාත් යෝග්‍ය වන යෙදුම් වන්නේ "ලිංගික අපයෝජනය" හෝ "ලිංගික අපරාධය" බව අප මින් පෙරද පවසා ඇත. දූෂණය යන්නෙන් වින්දිතයා අපවිත්‍ර වූ බවක් හැඟවේ.
මෙවැනි සිදුවීමක් සම්බන්ධ ලිපියක අරමුණ විය යුත්තේ සමාජයට ඒ සම්බන්ධයෙන් නිවැරදිව වාර්තාවක් ලබාදීම පමණක් නොවේ. මෙවන් සිදුවීම් අවම කිරීම සඳහා යම් කිසි දායකත්වයක්ද මෙවැනි ලිපියකින් සිදුවිය යුතුයි. ඒ සඳහා මනා සංයමයකින් යුතුව, මනා මාධ්‍ය ආචාර ධර්ම පිළිපැදීමකින් යුතුව, මනා වචන භාවිතයකින් යුතු මාධ්‍යකරණයක යෙදීම අත්‍යාවශ්‍ය වෙයි.

ethics eye