බස් රථයේ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවෙයි

 

බණ්ඩාරවෙල කහගොල්ල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක සිදු වූ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කරයි.

අද අලුයම 5.30ට පමණ සිදුවූ පිපිරීමත් සමග ගිණි ගැනීමට ලක් වූයේ, යාපනය සිට බණ්ඩාරවෙල දක්වා ගමන් ගත් බස් රථයකි.

පිපිරීම සමග ඇති වූ ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඔවුන් දියතලාව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
තුවාලකරුවන් අතර යුධ හමුදාවේ සාමාජිකයින් 7 ක් ගුවන් හමුදාවේ සාමාජිකයින් 5 ක් සහ සිවිල් ජනතාව 7 ක් සිටී.මෙම පිරිස අතර කාන්තාවක්ද වේ.

මෙම බස් රථයේ ගමන් කළ ආරක්ෂක අංශ සාමාජිකයෙකු ළඟ කිසියම් පුපුරන ද්‍රව්‍යක් තිබී එය පිපිරී ඇති බවට පොලිසිය සැක කරයි.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂක නිලධාරීන් කැඳවා ඇති බව යි.

 දියතලාව කහගොල්ල මගී බස් රථයක පිපිරුමක් ඇති වී ඇති බවත් එහි ගමන් ගත් 16 දෙනෙක් තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

It