'මම තවමත් අගමැති' - ධූරයෙන් ඉවත් කළ නොහැකියි

ව්‍යවස්ථාව අනුව තමන් අගමැති ලෙස තවදුරටත් කටයුතු කරන බවත් අනාගත නායකත්ව කණ්ඩායමක් ගොඩනැංවීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් රනිල් වික්‍රමසිංහ පැවැසීය.
අරලිය ගහ මන්දිරයේදී මාධ්‍යවෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනවාරි 8 ලබාදුන් ජනවරම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ප්‍රකාශකර සිටියේය.


ජනතාව මැතිවරණයෙන් දුන් ප්‍රතිඵලය පිළිගන්නා බවත් තමන්ට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  සමග විශේෂ සම්බන්ධතාවයක් නොමැති බවත් ඔහු  වැඩිදුරටත් පැවසීය.

 

අගමැතිවරයා ධූරයෙන් ඉවත් කළ නොහැකියි 

ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි අගමැතිවරයා ධූරයෙන් ඉවත් කළ නොහැකි යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය සිදුකිරීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි කී හෙතෙම අගමැතිවරයා ධූරයෙන් ඉල්ලා නොවන අවස්ථාවක එසේ ඉවත්කිරීමක් දැන් සිදු කළ නොහැකි යැයි ද ඔහු අවධාරණය කර සිටියේය.

ඒ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ (46) (2) වගන්තිය යටතේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ හැක්කේ ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ, තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවහොත් යනුවෙන් සටහන් වීම නිසාය.
එසේම එහි “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය.” යන වගන්තියට අනුවයි.