අග්‍රාමාත්‍ය ධුරය නිමල් සිරිපාලට ද? යළි රනිල් වික්‍රමසිංහට ද?

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව රට තුළ ඇති වූ අස්ථාවර තත්ත්වය හමුවේ නව අගමැතිවරයෙකු යටතේ නව රජයක් පත් කර ගැනීමට ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් පෙන්වීමට ඊයේ (15දා) රාත්‍රිය වනවිටත් හැකියාවක් නොතිබූ බව වාර්තා වේ.

මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 106ක් සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව ඉදිරියටත් සිය පාලන බලය ගෙන යෑමේ අවස්ථාව ලබා ගනිමින් සිටියි. 

ඊයේ (15දා) රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා සමග පැවැත්වූ අවසන් සාකච්ඡාවේදීද මෙම තත්ත්වයේ සුවිශේෂී වෙනසක් සිදුනොවූ බව වාර්තා වෙයි. 

එම තත්ත්වයේ වෙනසක් සිදු නොවුන හොත් වර්තමාන රජයේ ප්‍රබල ඇමති ධුර කිහිපයක් වෙනසකට ලක්වීමකට ඉඩ ඇති බවද වාර්තා වෙයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලැබෙන පරිදි නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රී ධුර 113ක් සොයාගැනීමේ මෙහෙයුමක් දියත් කළද එය ඊයේ (15දා) රාත්‍රිය වන විටත්  සාර්ථක වී නොතිබුණි. 

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන්  එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් පිහිටුවීම සදහා කැමැත්ත ලිඛිතව ඉල්ලා ඇති අතර ඔවුන් එය ලිඛිතව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මේ අර්බුදයට හේතුව වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දන්වා ඇත්තේ 113ක බහුතර බලය පෙන්වන පුද්ගලයාට අග්‍රාමාත්‍ය ධුරය සහිත ආණ්ඩුව පිහිටුවීමට ඔහුගේ අනුමැතිය හා සහාය ලබාදෙන බවයි.

මෙහිදී, එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇත්තේ 113ක බලයක් සහිතව අග්‍රාමාත්‍ය ධුරයක් දරමින් තමන් ආණ්ඩුවේ කටයුතු කරන නිසා තමන්ට යළිත් 113ක් පෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. 

ඒ අනුව තමන් පවතින ආණ්ඩුව සියලු දෙනාගේ කැමැත්තට අනුව ප්‍රතිසංවිධාන කීපයක් සිදුකරමින් ඉදිරියටත් පවත්වාගෙන යෑමට අදහස් කරන බවයි. අවශ්‍යය නම් වෙනත් ඕනෑම අයෙකුට පාර්ලිමේන්තුවේ 113ක බලයක් පෙන්විය හැකි බවත් එසේ යම් අයෙකුට 113ක් පෙන්විය හැකි අවස්ථාවක් ඇත්නම් ඒ අවස්ථාවේදී තමන් සුදුසු තීන්දුවක් ගන්නා බවයි. 

අද-