කැෆේ කීර්ති එරෙහිව මැකෝට පැමිණිල්ලක්

 


 කැෆේ  මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායක  කීර්ති තෙන්නකෝන්  පක්ෂග්‍රා හී හා නිරීක්ෂක අචාර ධර්ම විරෝධි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් මැවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

එසේම කීර්ති තෙන්නකෝන් ක්‍රියාකලාපය මැතිවරණ නිරීක්ෂකයෙකුගේ භූමිකාවට නොගැලපෙන බවත්, නිරීක්ෂක නියමයන් සහ ආචාර ධර්ම වලට පටහැනි බවත්, මැතිවරණ විශ්ලේශකයෙකු ලෙස සහ නිරීක්ෂකයෙකු ලෙස පැවතිය යුතු මධ්‍යස්ථභාවය අතහැර හා නොසලකා හැර කටයුතු කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

එබැවින් ඔහුට එරෙහිව නීති ප්‍රකාරව කටයුතු කරන ලෙසත්  මහින්ද දේශප්‍රිය මහතා වෙත ඉදිරිපත් කළ  පැමිණිල්ලේ සඳඑන් කර ඇත.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංවිධානය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල මෙසේය.

 

2018.02.14
මහින්ද දේශප්‍රිය මහතා,
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.
මහත්මයාණෙනි,


මැතිවරණ කොමිෂන් සභාවේ අවසරලත් නිරීක්ෂණ ආයතනයක් වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ පක්ෂග‍්‍රාහී සහ/හෝ නිරීක්ෂක අචාර ධර්ම විරෝධි ක්‍රියාකලාපය සම්බන්ධයෙනි.
මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් ලෙස කැෆේ සංවිධානය වසර ගණනාවක් මුළුල්ලේ පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවේද, වර්තමානයේ මැතිවරණ කොමිෂන් සභාවේද අවසරය මත කටයුතු කරන අතර එහි විධායක අධ්‍යක්ෂවරයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සක්‍රීයව කටයුතු කරමින් සිටින බව ඔබතුමන් හොඳින්ම දන්නා කරුණක් වේ.


පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය මැතිවරණ නිරීක්ෂකයෙකුගේ භූමිකාවට නොගැලපෙන බවත්, නිරීක්ෂක නියමයන් සහ ආචාර ධර්ම වලට පටහැනි බවත්, මැතිවරණ විශ්ලේශකයෙකු ලෙස සහ නිරීක්ෂකයෙකු ලෙස පැවතිය යුතු මධ්‍යස්ථභාවය අතහැර සහ/හෝ නොසලකා හැර ඒ මහතා කටයුතු කරන ලද බවත්, අපගේ නිරීක්ෂණය වේ.
එනම් පසුගිය පළාත් පාලන මැතිවරණය නිමාවීමෙන් අනතුරුව මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිල වශයෙන් ප‍්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට පෙර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා තම පෞද්ගලික ෆේස්බුක් ගිණුම සහ කැෆේ සංවිධානයේ ෆේස්බුක් පිටුව (සමාජ මාධ්‍ය) හරහා මැතිවරණයේ ප‍්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදී. මැතිවරණයක ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයක් වන අතර එය නිරීක්ෂණ ආතනයක ප‍්‍රධානියෙකු විසින් සිදු කරනු ලැබීම කිසිසේත්ම නොවිය යුතු කටයුත්තක් වේ. මෙම තත්වය මැතිවරණ කොමිෂන් සභාව විසින් අවසරලත් ආයතන සම්බන්ධයෙන් නිකුත් කර ඇති නියාමනයන් ට (6 වන වගන්තිය) පටහැනිව සිදු කරන ලද අනීතික ක‍්‍රියාවක් බව අපගේ ස්ථාවරය වේ.
එමෙන්ම වර්ෂ 2018 ක්වූ පෙරවාරී මස 13 වන දින උදෑසන රූපවාහිනී නාලිකාවක විශේෂ සජීව වැඩසටහනකට සම්බන්ධ වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් සම්බන්ධයෙන් නිරීක්ෂණ සංවිධානයක ප‍්‍රධානියෙකු ලෙස නොකළ යුතු මැදිහත්මක් සහ/හෝ අදහස් දැක්වීමක් සිදු කරන ලදී. 2018 පලාත් පාලන මැතිවරණය සඳහා නිරීක්ෂණ සංවිධාන වෙත ඔබ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නියමනයන් හී 05 වන සහ 07 වන වගන්තිය අනුව කිසියම් පක්ෂයක්, අපේක්ෂයෙකු ප‍්‍රවර්ධනය වන හෝ අගතියට පත් වන ප‍්‍රකාශයක් නිකුත් කිරීම නොකළ යුත්තක් මෙන්ම හැසිරීමෙන් සහ ක්‍රියාකලාපයෙන් ද තම අපක්ෂපාතීභාවය ඉතා දැඩිව ප‍්‍රදර්ශනය කළ යුතු වේ.
ඔබ කොමිෂන් සභාව විසින් නියාමනයන් හී එසේ සඳහන් කර තිබුණද තෙන්නකෝන් මහතාගේ ඉහත කී ක්‍රියාකලාපය කිසිසේත්ම අනුමත කළ නොහැක්කක් වන අතර එය නරඹන්නෙකුට එකී වැඩසටහනේ අන්තර්ගතය එක් දේශපාලන ව්‍යාපෘතියක කොටසක් බව හැඟීයාම නොවැලැක්විය හැකි තත්වයක් වේ.
ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයකු පසුගිය පස් වසරක කාලයේ දේශපාලන පක්ෂයකින් පිරිනමන තනතුරක් ලබා ගැනීම ද ආචාර ධර්ම උල්ලංඝණය කිරීමක් වන අතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් තෙන්නකෝන් මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීය.
තෙන්නකෝන් මහතාගේ ඉහත කී ක්‍රියාකලාපය හේතුවෙන් ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ ආයතනයන්හි අපක්ෂපාතීභාවය සම්බන්ධයෙන් මහජන විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙන බවත්, එම ආයතනවල කාර්යභාරය අවතක්සේරු වන බවත්, එකී නිරීක්ෂණ ආයතනවලට අවසරය ලබාදෙන මැතිවරණ කොමිෂන් සභාවේද කිර්තිනාමය සම්බන්ධයෙන් බලපෑම් සහගත කාරණයක් වන බවත් ඔබ වෙත දන්වා සිටිනු කැමැත්තෙමු.
ඒ අනුව ඔබ කොමිෂන් සභාවේ අවසරලත් නිරීක්ෂණ සංවිධානයක ප‍්‍රධානියෙකු ලෙස තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයාබලන ලෙසත්, යම් නියාමනයක්/නියාමනයන් උල්ලංඝණය කිරීමක් හෙලිදරව් වන්නේ නම් නීති ප‍්‍රකාරව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමු.
මෙයට විශ්වාසී,
ලේකම්,
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය