රුසියාවෙන් තවත් තීරණයක් තාක්ෂණික විශේෂඥයන් මෙරටට

 රුසියානු තාක්ෂණික විශේෂඥයන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සුදානම් වනවා.

ලබන ජනවාරි මාසයේ සිදුවන මෙම සංචාරයේ මුලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ තේ ආශ්‍රිතව සිදුවන නිරෝධායන කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමයි.

ශ්‍රී ලංකාවේ තේ ආනයන තහනම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමත් සමග රුසියාව මෙම පියවර ගෙන තිබෙනවා.

රුසියානු තේ ඉල්ලූමෙන් සියයට 23ක් සපුරලන ශ්‍රී ලංකාවේ තේ ආනයනය පසුගියදා 18 වනදා සිට තහනම් කිරීමට එරට පියවර ගත්තේ තේ අසුරන ලද බහාලූමක කුරුමිණියෙකු සිටි බවට පවසමින්.

කෙසේවෙතත් දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් අනුව ලබන 30 වනදා සිට යළිත් ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා.

 රුසියාව පෙන්වා දෙන්නේ ඉදිරියේදී විධිමත් ක්‍රියා පටිපාටියක නිරෝධායන ක්‍රියාවලියකින් පසු තේ අපනයනය කිරීමට සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව එකගවු බවයි.

එම තීරණය පිළිබඳ තමන් සෑහීමකට පත්වු බව ද රුසියානු බලධාරීන් පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම රුසියානු විශේෂඥයන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තේ ආශ්‍රිත නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණයට යොමු කරවීමට ද ශ්‍රී ලංකාව එකඟ වු බවයි රුසියාව ප්‍රකාශකර ඇත්තේ.

මේ අතර, රුසියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන ඇස්බැස්ටෝස් නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීම සඳහා අමාත්‍යාංශ 05ක නිලධාරීන් කණ්ඩායමක්  රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් ලබන වසරේ සිට ඇස්බැස්ටෝස් තහනම් කිරීමට තීරණය කර තිබූ නමුත්, එය පසුගියදා තාවකාලිකව ඉවත් කෙරුණා.

මෙම කණ්ඩායම රුසියාවේ ඇස්බැස්ටෝස් නිෂ්පාදන කර්මාන්තශාලා සහ පර්යේෂණාගාර වෙත ගොස් ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ.

රුසියාව යනු ශ්‍රී ලංකාවේ තේ වෙළඳපොලේ දෙවන විශාලතම ගැණුම් කරුවායි. එහි පළමු තැන ඉරානය පසුවනවා.
රුසියාව පසුගිය වසරේ පමණක් අමරිකානු ඩොලර් මිලියන 143 කට වැඩි වටිනාකමින් යුත් තේ ශ්‍රී ලංකාවෙන් ආනයනය කර තිබුනා.

එය මෙරට සම්පුර්ණ තේ අපනයනයෙන් 11.3% ක්.