රටට වටිනා සම්පතක් වූ "දළ පූට්ටුවා" ඝාතනය කරයි

කිසිම ආකාරයකින් මිනිසුන්ට හානියක් නොකර ජීවත් වුන දුර්ලභ සත්වයෙකු වූ ගල්ගමුවේ "දළ පූට්ටුවා" නම් හස්තිරාජයා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

දළ පූට්ටුවා මරා දළ ගලවා ගැනීමෙන් අනතුරුව යාන්ත්‍රික කියත් ආධාරයෙන් සිරුර කැබලිවලට කපා වෙන්කර ස්ථාන කිහිපයක වළ දමා ඇති බව විශ්වාස කරන්නේ යැයි වැඩ බලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මහතා පැවැසීය.

වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඒ.එච්. සුමනසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හේරත්ගම, ගල්කිරියාගම, ගල්ගමුව සහ මීගලෑව යන වනජීවී කාර්යාලවල නිලධාරි කණ්ඩායම් 4ක් දළ පූට්ටුවාගේ සිරුර වළදමා ඇති ස්ථාන සොයා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇතැයිද අමරරත්න මහතා සඳහන් කළේය.

ගල්ගමුවේ දළ පූට්ටුවා මරාදමා ඇත්තේ කහල්ලපල්ලකැලේ අභයභූමිය අසල හේරත්ගමදී බවට සැක කරන බවත් එම ප්‍රදේශයේ දින කිහිපයක්ම සැකකටයුතු ලෙස බැකෝ යන්ත්‍රයක් නවතා තිබී ඇති බවත් වනජීවී නිලධාරීහු කියා සිටිති.

පසුගිය 22 වැනි දින අලෙවි කිරීමට සූදානම් කර තිබියදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගන්නා ලද ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට සැක කරන දළ යුගල යාන්ත්‍රික කියතකින් කපා වෙන්කර තිබී ඇත.

මේ සම්බන්ධව හේරත්ගම ග්‍රාම නිලධාරියා සහ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බවත් සැකකරුවන් පැමිණ ඇත්තේද අංක තහඩු වෙනස් කරන ලද මෝටර් රථයක බවත් වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.

පොලිසිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වෙන වෙනම පරීක්ෂණ කටයුතු සිදුකරයි.