යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ජනාධිපතිවරයා ඇතුළු එම කණ්ඩායම බලා ගැනීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
අමරපුර චූලඝන්ඨි මහා නිකායේ ජේයෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති වැලිතර අමරනන්ද හිමියන්ගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී පැවැති පිංකමක් අවසානයේදී මාධ්‍යවේදීන් අමතා ඒ මහතා මේ බව කියා සිටියේය.
ඒකාබද්ද සමග එක් වන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රීලනිපයට පැවසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී හිටපු ජනපතිගෙන් විමසීය.
‘ඒක තමයි අපටත් ඕන. යන්න කියන්නකෝ බලන්න. අපේ කට්ටිය අපට දෙන්න. එතකොට ඉවරයි.
අපේ ජනාධිපති එතකොට අපි බලාගන්නම්’ යනුවෙන් රාජපක්ෂ මහතා ඊට පිලිතුරු දුන්නේය.
'අගමැතිකම ඉල්ලපු කතාව මඩක්'
''අගමැතිකමවත් විපක්ෂ නායකකමවත් මම කවදාවත් ඉල්ලුවේ නැහැ. මේවා මඩ ගහන්න කරන බොරු ප්‍රචාර'' යැයි ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26දා) අහුන්ගල්ලේදී පැවැසීය.
තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේද කීය.
''ඉදිරි මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතුවෙනවාද නැද්ද තීරණය කරන්නේ මම නෙවෙයි අපේ මන්ත්‍රි කණ්ඩායමයි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට තුන්දෙනකු පත්කර තිබෙනවා. ඒ අයගේ තීන්දුව අනුවයි ඉදිරි තීරණ ගන්නේ.
අපි එකතු වෙන්න නම් අගමැතිකම හෝ විපක්ෂ නායකකම ඉල්ලුවා කිව්වත් අපි එහෙම ඉල්ලුවේ නැහැ. මේවා මට මඩ ගහන්න හදන බොරු ප්‍රචාරයයි. මේවාට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.''
-ශ්‍රී ලංකා මිරර්-