"සඳ දෙව්දූ"

"සඳ දෙව්දූ" නමින් වටාපතක් රැගත් ධවල වස්ත්‍රධාරී තරුණයෙක් ගැන බුකිවාසී ප්‍රජාව කැළඹී ඇති අතර ගොසිප් සහ වෙබ් පුවත්කරුවන්ට ද තලු මරන්නට පුවතක් ලැබී ඇත.

මෙයට පෙර වදුරඹ සිරිවර්ධන නම් වැඩිහිටි පුද්ගාලයෙක් ද මේ හා සමාන හැසිරීමක් පළ කළ අතර ඔහු තවමත් තමාගේ ස්ථාවරය අත් නොහැර සිටී.

ඔය කියන "සඳ දෙව්දූ" ගේ බාහිර ස්වරූපය නිසාම ඔහුට සමච්චල් නගන අයෙක් වේ නම් පළමුව රත්නපුර නගරය පෙනි පෙනී ගනේගම පාර අයිනේ ඉදි කර ඇති දැවැන්ත බුද්ධ ප්‍රතිමාව නරඹා එන ලෙස ඉල්ලා සිටිමි.

අන්තර්ජාලය ජනතා පරමාධිපත්‍යය වන්නට පෙර ද ඔයිට වඩා නරි නාටක ඔයිටත් වඩා සංවිධානගත ව තිබූ බව බොහෝ දෙනෙක් දන්නේ නැත. බාගදා බොහෝ දෙනෙකුට අමතකව ගොසිනි.

එක් කාලයක් ලංකාවේ උමතුව වී තිබුණේ දොළුකන්ද වන්දනාවය. " බුදුගුණ අනන්තයි !" යනුවෙන් පිරිත් කර දෙන ජලයේ සිට පාර දෙපස සාරවිට , සරුවත් සහ මනිබඩු දක්වා වූ නිදහස් වෙළඳ කලාපයක් දොළුකන්දේ බිහි විය.

"දන්නෝ දනිති" යනුවෙන් මත්පැන් පැකට්ටුවක් ඇතුළට යොදා විකුණන ජංගම බත් පාර්සල් වෙළෙන්දන් ද විය. අවසානයේ දොළුකන්දේ ස්වාමීන් වහන්සේ විසින් චන්ද්‍රිකා වැවම පිරිත් කරවූ බව් අසන්නට ලැබිණ.

ඒ තථාගත බුදුපියාණන් වහන්සේ විසින් වදාල ධර්මය රැක ගන්නා පහසුම ක්‍රමවේදය විය හැකිය.

දැන් සිටින්නේ සමන්තභද්‍රය. බුදු දහමේ උගන්වන්නේ අල්පේච්ඡතාවයැයි වනපොත් කරමින් විභාග වලට පිටු ගණන් ලියූ අපිට සමන්ත භද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්මගේ හිටි පිළිම පවා නැරඹීමේ අවස්ථාව හිමිව ඇත. බුදුන් වහන්සේ ජාති - ජරා - ව්‍යාධි - මරණ දුකක් බව ඉගැන්වූ අතර ඉපදීමේ සහ ජරාවට පත් වීමේ දුක සමරනු පිණිස සමන්තභද්‍ර විසින් උපන්දින කේක් කපනු ලැබීය.

සියල්ල අවසානයේ පෙනී යන්නේ ඔබට ඇත්තේ තේරීම් දෙකක් බවය.


ඔබට මානසික අසමතුලිතතාවක් හෝ යම් විෂම මානසික තත්ත්වයක් හටගත්තේ නම් එක්කෝ ඔබ ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. එසේ නැත්නම් ඒ සඳහා වරලත් ( Franchised) භාවය හිමි වන නිල ඇඳුම වන සිවුර දවටා ගත යුතුය. වදුරඹ සිරිවර්ධන හෝ සඳදෙව්දූ වීම හරහා පැණ නගින ඕනෑම ගැටළුවක් චීවරය පොරවාගත් සැණින් අතුරුදන් වීම් ලංකාවේ බුද්ධාගමයි.


මිත්‍රවරුනි ;


සුභද්ධ භික්ෂුවගේ අභද්‍ර වචනය නිසාත් ජබ්බග්ගිය භික්ෂූන්ගේ අත්තනෝමතික හැසිරීම නිසාත් සප්තරස භික්ෂූන්ගේ ධර්ම විනය අර්ථගැන්වීම් නිසාත් ධර්ම සංගායනා පැවැත්වූ , දුසිල් මහණුන් සසුනෙන් නෙරපූ ඉතිහාසයක් උගන්වන්නේ බෞද්ධ ඉතිහාසයේ ය.
සඳ දෙව්දූ සහ සිරිවර්ධනලා ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට දත කන ඔබ අප ජීවත් වන්නේ මහනායක හිමිවරු විසින් සමන්තභද්‍රලා ඉවසා වදාරන වතමානයකය.


- සහන් කසීර වික්‍රමසිංහ -