ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි - පැෆ්රල්

පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණක් බවට ආගමන විගමබන පාලකවරයා තහවුරු කොට ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වාදෙන්නේ සිය සංවිධානය තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක් මගින් විමසා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවයට අදාල තොරතුරු සම්බන්ධයෙන් මේ වන විට පිළිතුරු ලැබී ඇති බවයි.

එම සංවිධානය විසින් කල ඉල්ලීමට අනුව ආගමන විගමන පාලකවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයකට ලක්කොට ඇති අතර මන්ත්‍රීවරුන් 225 දෙනා අතුරින් ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියට බවත් අංක 17096 A යටතේ ඇයට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත්කොට ඇති බවත් ආගමන විගමන පාලකවරයා දන්වා ඇති බවයි අදාල නිවේදනය මගින් දක්වා ඇත්තේ.