විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය තනතුරින් අස්වීමට තීරණය කර තිබෙනවා.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එවකට මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුට ඉල්ලා අස්වන ලෙස විපක්ෂයෙන් පමණක් නොව ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන්ගෙන්ද දැඩි බලපෑමක් එල්ල විය.
‘රවීගේ අස්වීමට ආණ්ඩුව හෝ විපක්ෂය සතුටු විය යුතු නෑ‘ - හඳුන්නෙත්ති
රවී කරුණානායක ඇමැතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ සතුටු බවත් එසේ නමුත් මෙම බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු තොරතුරු එළිදරව් විය යුතු බවත් අනෙක් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය නිවැරදිව ක්‍රියාතමක විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙය ආණ්ඩුවේවත් විපක්ෂයේවත් ජයග්‍රහණයක් ලෙස කිසිවකුට හෝ සතුටුවිය නොහැකි බවත් ඔහු කීවේය.
‘‘එතුමාගේ අදහස අනුව ඒ පූර්වාදර්ශය හොඳයි. හිටපු මුදල් අමාත්‍යවරයා චෝදනාව දන්නා නිසා මේ ක්‍රියාවලිය විශ්වාස භංගයකින් පරාජය වීම සහතික නිසා කලින්ම ඉල්ලා අස්වීම හොඳයි. නිධානයට බිල්ල වුණේ එතුමා වුණාට තවම නිධානයට මොකද වුණේ එය මංකොල්ල කෑවේ කවුද කියා සොයාගෙන නෑ. එතුමා කටින් මෙතන කිව්වත් ඉල්ලා අස්වීම ආඩම්බරයක් කියලා නමුත් එතුමාගේ හදවත දන්නවා මේක වංචාවක් කියලා. කෝප් කමිටුව ලබාදුන් වාර්තාවේ කොටසක් ලෙස මෙය ජනපති කොමිසම හමුවේ එළිදරව් වූ සාක්කි අනුව මුදල් ඇමැතිවරයාට පසුපෙළ අසුන් ගැනීමට සිදුවුණා. ඒ අනුව ආණ්ඩුව මුහුණ දුන් අර්බුදයට විසඳුමක් ලැබී තිබෙනවා.
නමුත් ගැටලුව මේ ක්‍රියාවලියෙන් අපේ ආර්ථිකයට ඇතිවූ පාඩුව රටට සිදුවූ ආර්ථික හානිය විශාලයි‘‘ යැයි ද හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
යහපාලනය යනු හොරකම් කර අසුවුණාට පසු ඉල්ලා අස්වීම නොවන බවත් මේ රටේ වංචා දූෂණ ඉතිහාසයක් පුරා සිදුව ඇති බවත් පරණ හොරුන් සහ අලුත් හොරුන් ආරක්ෂා කිරීම ආණ්ඩුව සිදුකරන අතර එහි එක් බිල්ලක් ලෙස පමණක් රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම සිදුවූ බවත් ඔහු කියා සිටියේය.
රවීගේ අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති
විදේශ කටයුතු ඇමැතිකමින් ඉල්ලා අස්වෙමින් රවී කරුණානායක මහතා හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය රජය සමයේ මොන චෝදනාව ආවත් කිසිවකු ඉල්ලා අස්වී නැතැයි ද, චෝදනාවක් එල්ලවූ සැනින් පරීක්ෂණවලට දක්වන සහයක් ලෙස කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් මේ ආණ්ඩුවේ යහපාලනය පෙන්වා ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.
ජනමාධ්‍ය අද විවිධ චෝදනා කිරීමෙන් පෙනී යන්නේ දැන් මාධ්‍ය නිදහසක් ඇති බව යැයි කී අගමැතිවරයා ගිය ආණ්ඩුව කාලේ එසේ කතා කළහොත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නන්ට වූ දේ සිදු වන බව ද ප්‍රකාශ කළේය. අද ලැබී ඇති නිදහසත් සමඟ ජනමාධ්‍ය සියලුම දෙනාට හොරුන් යැයි චෝදනා කරන බව ද ඔහු පැවසීය.