ඇමති රවීගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අමාත්‍ය රවී කරුණානායක අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.



ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.


මේ අතර විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (09)ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණ ගැසී සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත්, අමාත්‍ය රවී කරුණානායක ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඊයේ පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්ව සිටියේ නැහැ.
එමෙන්ම, ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී අමාත්‍ය රවී කරුණානායකට එම ධුරයෙන් ඉවත්වන ලෙස හෝ ඔහු ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

මේ අතර, අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමේ දිනය පිළිබඳව අද රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතයි.

අද පස්වරු 04 ට පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ.


මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ අද දිනයේ රැස්වන පක්ෂ නායක රැස්වීමේදී යළිත් වතාවක් අමාත්‍ය රවී කරුණානායකගේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බවයි.