එමානුවෙල්ලා, කොලින්ඩලා සහ සිරිසේනලා


මෙවර පාපන්දු ලෝක ශූරතාවයේ අවසාන ජවනිකාවට අපටත් වඩා කුඩා රටක් වන ‘සෙක්සි ක්‍රොඒෂියාව’ ඒමත් ප්‍රංශ නායකයා සමඟ ක්‍රොඒෂියානු ජනාධිපතිනි කොලින්ඩා ජය පරාජය බෙදාගත් අකාරයත් හරහා ක්‍රීඩා කෞෂල්‍ය වගේම ඒ බොහෝ දේශපාලකයින්ගේ හරයන් සහ සුදුසුකම් අපි දැක්කා. (එහෙම අගයන විට ඒ දේශපාලකයින්ගේ සියලු තීරණ අපි අනුමත කරන බවක් හෝ ඔවුන් පරමාදර්ශී බවක් අදහස් කරන් නෑ.) ඒ සමඟ අපිට ඇතිවුන ප්‍රශ්ණයක් තමයි, ඇයි අපිට ඒ වගේ දේශපාලන පෞර්ෂයන් නැත්තේ කියන එක.

භාෂ හතක් පමණ කතා කරන්න පුලුවන් නූතන අදහස් දරණ බුද්ධිමත් තරුණියක් ද තමන්ට වඩා අවුරුදු විසිපහක් වැඩිමල් ගුරුවරියව පෙලවහට ගත්ත යන්තම් අවුරුදු හතලිහ පිරූ රැඩිකල් කොල්ලෙක් ද ඒ  රටවල මිනිසුන් රටේ නායකයට තෝරා ගන්නකොට අනිත් පැත්තෙන් ‘උන්ව පරාජය කිරීමට’ අප තෝරා ගත්තවුන් ගැන දැන් මෙතන කියන්න ගියොත් උන්ගෙන් කා බී හැදුන දරුවන්ගේ ලේ කෝප වෙන හැටි බලාගන්න පුලුවන්! 

ඇත්තටම නායකත්වයට ඒ විදියේ පෞර්ෂයක් හා දැණුමක් ඇති නූතන මිනිසුන් අපට නැත්ද? මොකද ඔවුන් දැන් අපට අවශ්‍යම මොහොතයි. තොග ගනනින් නැතිවෙන්න පුලුවන් වුනත් ඉන්නා බව මගේ අදහසයි. එහෙත් අපේ දේශපාලනය තුල ඔවුන් නැති වෙන්නට ප්‍රධාන හේතුවක් තමයි පක්ෂ දේශපාලනය මැරයින්, තක්කඩියන් හා පාදඩයින්ගේ අඩවියක් වීම නිසා ඔවුන් දේශපාලනයට ඒමට අකමැති වීම. අනික ගංජා, සමලිංගිකත්වය ආදිය අනුමත කිරීමේ ඉඳන් ජනවර්ග ගැන විවෘත අදහස් දරන නිර්මාණාත්මක- පරයේෂණාත්මක පෞර්ෂයන් මොනවගේ මිනිසුන් වර්ගයක්ද කියලා අපේ රටේ බහුතරයට තේරෙන් නැති වීම. ඒ වගේ කෙල්ලෝ කොල්ලන් අපේ රටේ ඡන්දයක් ඉල්ලන්න ගියොත් සාමාන්‍ය මිනිසුන් අතර ඔවුන්ව වැටෙන්නේ නූතන මානව අයිතිවාසිකම් වල සිට තාක්ෂණය දක්වා භාවිතාවන් අභ්‍යස කරන නාගරික පෞර්ෂයන් විදියට නෙමේ සමලිංගික පොන්නයින්, වේසාවියන් හා බටහිර කාක්කන් වගේ ස්ටීරියෝටයිප් ලේබල් ගොඩටයි. එවැනි පෞර්ෂයන් ස්ථානගත කරන්නම, නැත්නම් කියවන්නම අපේ රටේ සාමාන්‍ය මිනිහාට ඇත්තටම බෑ. කොලින්ඩලා එමානුවෙල්ලා හෝ රටවල් වෙනස් කර පෙන්වූ බොහෝ උතුරු යුරෝපියානු පර්යේශණාත්මක දේශපාලන නායකයින් ආදීන් තේරුම් ගැනීමටත් පාලනයට එවැන්නන් තෝරා ගැනීමටත් හැකි ජනතාවක් බිහිවීමට දීර්ග ඉතිහාස කතාවක් තියනවා, අන්න ඒ කතාව අපිට නෑ.

කොලින්ඩා එයාගේ තරුණ ක්‍රීඩකයින්ව ඇඳුම් මාරු කරන කාමරය තුලම වැලඳ ගැන්නා හා අර වගේ ප්‍රංශ නායකයාව සිඹ වැලඳ ගන්නා අකාරයෙන් තමන්ගේ ගෑනි තැනක හැසිරුනොත් ගෙදරින් ගහලා එලවන එකා තමයි අපේ රටේ සාමාන්‍ය පංතියේ පොදු ඡන්දදායකයා . ඒ මිනිහාම තමයි එමානුවෙල්ගේ 'අසම්මත කසාදය' හේතුවෙන් රට කරන්න හොඳ නෑ කියලා තීරණය කරන්නෙත්. දේශපාලනිකව මෙන්ම අධ්‍යාපනිකවද වල්මත්වුන අපේ මේ මෝඩ වර්තමාන පොදු මිනිසා , 'අපේ සදාචාරය' කියලා කියන්නේ වෙන මොකටවත් නෙමේ ඔය යුරෝපාකාරයින්ම කාලෙකට උඩදී අපට විසිකරල දාලා ගිය ඔවුන්ගේ පැරණි සදාචාරයයි. මේ මැටි බහුතරයගේ ඡන්දය රවටාගන්න අන්තිමට සිරිසේනලා වගේ මිනිස්සු ඉදිරිපත් කරන අතර සිරිසේනලා ( රාජපක්ෂලා ඇතුලු අපේ දේශපාලකයින්) දරුවන් හදන්නේ හැකි තරම් අර කොලින්ඩලා එමානුවෙල්ලාගේ බටහිර-යුරෝපා සමාජයට අනූව. ඒ වගේම නායකයකු පත් කරගන්න යන විට ඒ ‘යුරෝපා සදාචාරය’ට එරෙහිවන අපේ ඡන්දදායකයා හැමවිටම තම දරුපවුල් පිටන්ම යන්න හදන්නේ තමන් ප්‍රතික්ෂේප කරපු සදාචාරයක් හා පෞර්ෂයක් ඇති නායකයින් පාලනය කරන රටවල් වලටමයි. ඒ ගිය සමහරු ඒ දියුණුව භුක්ති විඳමින් එහෙ ඉඳන්ද අපට ගැලපෙනවුන් විදියට ලංකාවට යෝජනා කරන්නේ අර පසුගාමී පෞර්ෂයන්. 

මේ දේශපාලනික නොමඟ යෑම, කුහකත්වය හා රැවටීම තියන තාක් එකම ඌරා වෙනස් සබන් වලින් හෝදමින් අසූචි කෑම නවත්තන්න හදීමේ අපේ හම්පඩ දේශපාලන ක්‍රමය තවත් අනාදිමත් කාලයක් පවතින එකයි වෙන්නේ.

ධනංජය කරුණාරත්න