ඔබට ලැබෙන්නේ ඔබ දෙන දේවල්ම ය ඒ නිසා වංචා නොකරන්න

 

එඬේරෙක් තම පට්ටියේ කිරි වලින් බටර් සාදා සෑම දිනකම ඒවා නගරයේ බේකරියකට විකිණීමට පුරුදුව සිටියා. ඔහු විකුණුවේ දිනකට රාත්තල බැගින්.

ටික කාලයක් මෙසේ කරන විට තමාට ලැබෙන බටර් ප්‍රමාණය අඩු වන බව බේකරි හිමියාට තේරුණා. දිනක් ඔහු බටර් ප්‍රමාණය කිරා බැලුවා. ඔහුට දැකගන්නට ලැබුණේ බටර් රාත්තලක් නොමැති බවයි. කේන්ති ගිය ඔහු එඬේරාට බැන වැද ඔහුව අධිකරණයට රැගෙන ගියා. අධිකරණයේදී විනිසුරු තුමා එඬේරාව ප්‍රශ්න කලා.

එඬේරා පැවසුවේ තමාට බර කිරීමට හරි හමන් උපකරණයක් නොමැති බවයි.

"එසේ නම් තමා කොහොමද හැමදාම බටර් රාත්තලක් කිරන්නේ? " විනිසුරු තුමා ප්‍රශ්න කලා.

"ස්වාමීනී, මා සතුව තරාදියක් තිබෙනවා. මම හැමදාම බේකරියෙන් පාන් රාත්තලක් ගන්නවා. මම තරාදියේ එක පැත්තකට පාන් රාත්තල දමලා ඒ ප්‍රමාණයට අනිත් පැත්තට බටර් දමනවා. මම පඩිය විදියට යොදා ගන්නේ පාන් රාත්තලක්. " එඬේරා කිව්වා.

පසුව පාන් රාත්තලක් කිරා බැලූ විට එහිත් සත්‍ය රාත්තලක් නොමැති බව හැමෝටම පෙනී ගියා. වංචාව නිසා බේකරි හිමියාට දඬුවම් හිමි වුණා.

ඔබට ලැබෙන්නේ ඔබ දෙන දේවල්ම ය. ඒ නිසා වංචා නොකරන්න.