නයි නටවන්නා සහ නාමල්

සම් පදම් කිරීම කුලයෙන් උරුම වූ රැකියාව වුවද අවසානයේ ඇඳුම් මහන්නන් බවට පත් වන ඉෂ්වාර් සහ ඕම්ප්‍රකාශ් ගැන A Fine Balance කෘතිය ලියන්නේ රොහින්ටන් මිස්ට්‍රිය.

ඉෂ්වාර් සහ ඕම් ලැගුම් ලා සිටින මුඩුක්කු පැල්පත වෙත පැමිණෙන බස් කන්දරාවකි. එක පුද්ගලයෙකුට ඉන්දියානු රුපියල් පහක් බැගින් ද ආහාර පාන ද සපයන බව පවසන නිළධාරියෙක් සෑම පැල්පතකින්ම දෙදෙනෙක් වත් අගමැතිනියගේ රැළියට යා යුතු බව අණ කර සිටී. විරෝධය පෑම පලක් නොවන තැන එම පැල්පතක වෙසෙන නයි නටවන්නා , තම වඳුරාව තමා සමග ගෙන යන්නට අවසරය පතයි.

ඉන් අනතුරුව ඇති වන කතා බහේදී දේශපාලන පක්ෂ නියෝජිතයා පවසන්නේ වඳුරෙක් අගමැතිනියගේ රැළියකට සහභාගී වීම විරුද්ධ පක්ෂයේ මඩ ප්‍රහාරවලට හේතු විය හැකි බවය. නිළධාරියා පවසන්නේ මේ හරහා අගමැතිනියගේ අදහස් දැක්වීමේ හැකියාව මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් දක්වාම විහිදෙන බව සනාථ විය හැකි බවය. නමුත් අවසානයේ තීරණයකට එන ඔවුන් දෙපොළ මෙය අගමැතිනියට වැදගත් වන රැළියක් බවත් වඳුරන් ට අවසර නොමැති බවත් නයි නටවන්නාට දන්වා සිටී. අවසානයේ රැළියට සහභාගී වූ පිරිසට ලැබෙන්නේ රුපියල් හතරකි. ආහාර පාන වලට රුපියලක් කපා ඇත.

මිත්‍රවරුනි ;

රොහින්ටන් මිස්ට්‍රි A Fine Balance කෘතියේ මේ පරිච්ඡේදය නම් කරන්නේ Day at the circus , Night in the slum යනුවෙනි.

දහවල් දවස අනුන් පිනවන්නට සර්කස් නැටූවද අඳුර වැටුණු පසු ගාල් විය යුත්තේ පැල්පත ට මුඩුක්කුවට විනා තරු පහේ හෝටලයකට හෝ මන්දිරයකට නොවන බව වටහාගෙන ඇත්‍තේ කීයෙන් කී දෙනෙක් ද ?

නයි නටවන්නාට නිළධාරියා පැවසූ පුවත පැහැදිලි කරන ඡායාරූපයක් මේ සමග අමුණමි.

අද රජෙක් තනන්නට මහාපාරේ ඇවිදින මහජනතාව අතරින් කී දෙනෙක් 2011 සාන්ත කිට්ස් සහ නෙවිල්ස් දූපතේ පැවත්වුණු 2018 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරක රාජ්‍යය තේරීමේ උත්සවය සඳහා සහභාගී කර ගත්තාද ?

එදා එම උළෙලට සහභාගී වූ මහත් වූ පිරිසෙන් කීයෙන් කී දෙනෙක් අද මහජනතාව සමග අව් රැස් මැද මහ පාරේ ඇවිදිනු ඔබ දුටුවාද ?

නිළධාරියා නයි නටවන්නාට මෙසේ පැවසීය.

I’m Sorry. This is an important meeting for the Prime Minister. No monkeys allowed.

- සහන් කසීර වික්‍රමසිංහ -