පාසලේ සිට ගෙදරට කිලෝමීටර් 30 ක් සයිකල් පදිද්දී විජලනයෙන් මිය ගිය සත්‍යා

යාපනයේ හින්දු විද්‍යාලයේ සිසුවියක වූ සත්‍යා මිය ගියාය. එය පුවතකි. නිකම්ම නිකම් පුවතක් නොව දෙගොඩ තලා ගංගා ගලා බසින ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලි ලත් මේ පුංචි දිවයිනේ පාසැල් දැරියක විජලනයෙන් මිය යාම පිළිබඳ හද කම්පා කරන පුවතකි. ඇය විජලනයට ලක් වූ හේතුව පාසලේ සිට ගෙදරට කිලෝ මීටර් 30 ක් සිය බයිසිකලය පැද යාම යයි ඇසූ විට පලමුව විශ්මයටත් අනතුරුව කම්පාවටත් පත්ව සිටිය නොහැකි යමෙකු වේ නම් ඒ හදවතක් නැත්තෙකු පමණකි. සත්‍යා එතරම් දුරක් බයිසිකලයෙන් යාමට හේතුව අවශ්‍ය සම්පත් සහිත පාසලක් ආසන්නයේ නැති කමද, වෙනත් ප්‍රවාහන පහසුකම් නොමැති වීමද යන්න වාර්තා වී නැතත් එකක් ස්ථිරය. ඒ, ඇය දිනපතා එකී දුෂ්කරක්‍රියාවේ යෙදී ඇත්තේ විනෝදය තකා නොව සිප් සතර ඉගෙන ජීවිතය ජයගන්නට බවය. අවසානයේ ඒ සියළු සිහින සත්‍යාද සමග වළලා දමන්නට මරුවා සමත්ව තිබේ.

ඒ මරුවා අන් කිසිවෙකු නොව සමාජයේ වරප්‍රසාද ලත් කොටසක් ජනතා මුදලින් සව්දිය පුරමින් පිස්සු කෙළින අතර අහිංසකයන්ට බල්ලන් බළලුන් මෙන් මහ මග මිය යන්නට සිදුව ඇති මේ නරුම සමාජ රටාව ය. එවන් සමාජයකට බාලකුමාර් ශ්‍රී සත්‍යා නම් ජීවිතයේ හිරිමල් යොවුන් වියේ සිටි මේ දහ හත් හැවිරිදි බාලිකාවගේ හදිසි මරණය තවත් එක් පුවතක් පමණක්මය.

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන්, අපොස සා.පෙළ හා උසස් පෙළ විභාග වලින් ඉහලම ලකුණු ලබන දරුවෝ මාධ්‍ය තුලින් ප්‍රසිද්ධියට පත් වෙති. රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ කිත් පැසසුම් වලට ලක්ව තෑගි බෝග ද ලබති. එවන් දරුවන් දිරි ගැන්වීමේ වරදක් නැත. එහෙත් ඔප වැටෙන්නට වරම් නොලැබ ගල් බොරලු අස්සේ සැඟව ඇති, සත්‍යා වැනි දරිද්‍රතාවයේ යකුළු පහරට ලක්ව දූලි වී යන පුෂ්පරාග මේ ලක් පොලව මත තව කොතරම් ඇත් ද?

ලක් බිම ඈත එපිට ගම්මාන වල බොහෝ දරුවන්ට අකුරු කරන්නට සිදුව ඇත්තේ ජීවිතය හා මරණය අතර සටනක යෙදෙමිනි. මරුවා විටෙක වල් අලියෙකු වෙස් ගෙන සිටී. තවත් විටෙක අබලන් පාසල් ගොඩනැගිල්ලක වහලයේ හෝ බිත්තියේ සැඟව සිටී. වරෙක පාසලට යන මගෙහි ඇති දිරා ගිය පාලමක ය. නැතිනම් රෝද හතරේ මග මරුවෙකුගේ වේශයෙනි. එසේත් නොවේනම් මේ අමන සමාජයේ බහුලව ඇති ලිංගික පෙළඹවීම් හා/හෝ මත් ද්‍රව්‍ය වලින් මනස විකෘති කරගත් අපරාධකරුවෙකු විලසිනි.

උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර මේ කොතැනක දිවි ගෙවුවද ඒ අපේ දරුවන්ය. දේශයේ අනාගතය භාර ගන්නට සිටින, ලක් මවගේ දූ පුතුන්ය. උන්ට සුරක්ෂිත වටාපිටාවක හිඳ අකුරු කරන්නට ඉඩ කඩ සලසා දිය නොහැකි රජයකින් හෝ පාලක පංතියකින් ඇති පලක් නැත. කුලියට ගන්නා හිස් ගොඩනැගිලි වලට මාසිකව මිලියන ගනනින් වැය කරන, විදෙස් චාරිකා, ප්‍රිය සාද සඳහා කෝටි ගනනින් මහජන මුදල් කාබාසිනියා කරන, හොරකම හා දූෂණය ආදර්ශ පාඨය කරගත් බලවතුන්ගෙන් මීට විසඳුම් ඉල්ලා සිටීම, හාවුන් රැලක් සිය දිවි ගලවා දෙන්නැයි නරියන්ගෙන් කරන ඉල්ලීමකට දෙවෙනි නැත. ඉදින් අප මේ දුක කාට කියන්නද? අපේ දරුවන්ගේ ජීවිත අනාරක්ෂිතය. සත්‍යාගේ මරණයෙන් යලි යලිත් තහවුරු වන අමිහිරි සත්‍යය එයයි.

Dhammike Egodawatte