විනී ! මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබට සුබ ගමන්

Hero to Zero in 9.79 යනුවෙන් සඳහන් කළ ඇඳ ඇතිරිල්ලක් 1988 සෝල් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා ගම්මානයේ කවුළුවකින් ප්‍රදර්ශනය විය. කැනඩාවේ පිහිනුම් ක්‍රීඩකයෙක් විසින් විරෝධය පළ කළේ කැනඩාවේම සුපිරි මළල ක්‍රීඩකයෙක් වුණු බෙන් ජොන්සන්ට එරෙහිවය. දින කීපයකට පෙර පැවති මීටර 100 පිරිමි ධාවන ඉසව්ව තත්පර 9.79 කින් නිම කර නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනූ බෙන් ජොන්සන් තහනම් උත්තේජක ලබා ගෙන තිබූ බව තහවුරු වූ හෙයින් , ඔහුගේ රන් පදක්කම දින කීපයක් තුළ දී අවලංගු විය. විජයග්‍රාහී මතක සටහන් සියල්ල කිළිටි කළ එක් අඳුරු පැල්ලමක් සමග බෙන් ජොන්සන් ලෝක ඉතිහාසයට එක් විය. Hero to Zero in 9.79.
මොහොතකින් වීරත්වය අහිමි වන්නේ තත්පර දහයට අඩුවෙන් මීටර සීයයක් දුවමින් මිහිමත වේගවත්ම මිනිසා බවට පත් වූ බෙන් ජොන්සන්ට පමණක්යැයි සිතීම වැරදිය.
දකුණු අප්‍රිකානු කළු ජාතිකයින්ගේ වීරයා මෙන්ම ලෝක සම්භාවනාවට පාත්‍ර වූ අවිහිංසාවාදී මානව හිමිකම් ක්‍රියාකරුවෙකු වූ නෙල්සන් මැන්ඩෙලා ගේ ප්‍රිය බිරිඳ වූයේ විනී මැන්ඩෙලාය. 1958 දී නෙල්සන් මැන්ඩෙලා සමග විවාහ වන විනී 1962 වසරේ සිට 1990 වසරේ පෙබරවාරිය වෙන තෙක්ම සිරගත කර සිටි මැන්ඩෙලා අත් නොහැර ඔහුගේ සටනට ශක්තියක් වූවාය. රටවැසියන් විනී මැන්ඩෙලා හැඳින්වූයේ "Mother of Africa" හෙවත් "අප්‍රිකාවේ මාතාව" නමිනි.
1988 දෙසැම්බර් මස 28 වැනිදා Orlando හි මෙතෝදිස්ත දේවගැති නිවසේ සිට 14 හැවිරිදි Stompie Moeketsi සහ තවත් ගැටවරයින් තිදෙනෙක් පැහැර ගැනීමට ලක් විය. මැන්ඩෙලා පාපන්දු සමාජයේ සාමාජිකයෙක් වන ජෙරී රිචර්ඩ්සන් සමුරායි වර්ගයී කඩුවක් ද රැගෙන ස්ටොම්ෆී සිර කළ කාමරයට ගොස් දොර වසා ගත් බව ද ඇතුළතින් ස්ටොම්ෆී ගේ මර හඬ තැලීමක් ඇසුණු බවද දිවි බේරා ගත් බාල වයස්කරුවන් ගේ සාක්ෂියේ සටහන් විය. මේ තිදෙනාට ද පහර දී මෙතෝදිස්ත දේවගැති තුමන්ගේ ලිංගික අපචාර ගැන සාක්ෂි දෙන මෙන් තරජනය කළ බව ද පසුව මුදා හැරුණු බව ද පැවසිණ. 1989 ජනවාරි 01 දා දහ හතර හැවිරිදි Stompie Moeketsi ගේ මළ සිරුර මැන්ඩෙලා ගේ නිවස අසල ප්‍රදේශයේ තිබී හමු විය. ඔහුගේ උගුර තියුණු ආයුධයකින් කපා දමා තිබිණ.
නඩු විභාගය මුල සිටම නෙල්සන් මැන්ඩෙලා තම ආදරණීය බිරිඳගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් සටන් වැදිණ. විනී මැන්ඩෙලා ද මෙම ඝාතනය සහ පැහැර ගැනීම් සියල්ලම " මැන්ඩෙලා පාපන්දු සමාජයේ' සාමාජිකයින් ගේ කටයුතු යැයි පවසා අත සෝදා ගැනීමේ උත්සාහයක නිරත විය. නමුත් අවාසනාවකට මෙන් එම චූදිතයින් අතර සිටි ඇයගේ පුද්ගලික ආරක්ෂක ජෙරී රිචර්ඩ්සන් සාක්ෂි දෙමින් Stompie Moeketsi ව පැහැර ගන්නට උපදෙස් ලබා දුන්නේ විනී මැන්ඩෙලා බව පාපොච්චාරණය කළේය.
ඝාතකයා හට මරණ දඬුවම නියම වන විට විනී මැන්ඩෙලා හට සය අවුරුදු සිර දඬුවමක් හිමි වුණේ බාලවයස් කරුවන් සිව් දෙනෙක් පැහැර ගැනීමේ චෝදනාව මතය. 1993 දී ඇපෑලක් හරහා එම සය අවුරුදු සිර දඬුවම අවුරුදු දෙකකට සහ රෑන්ඩ් 15,000 ක දඩයකට සීමා කර ගන්නා විනී මැන්ඩෙලා නිදහස් විය. ඇයට තවත් රෑන්ඩ් 15,000 ක වන්දි මුදලක් ජීවතුන් අතර සිටින පැහැර ගැනීමට ලක් වූ ගැටවරයින්ට ගෙවන ලෙස අණ කෙරිණ. ඒ අතර ඝාතකයා ගේ මරණ දඬුවම ද 19 අවුරුදු සිර දඬුවමක් ලෙස වෙනස් කෙරිණ.
1992 වසර වන විට පොලිසිය හෙළි කළ ආකාරයට විනී මැන්ඩෙලා තවත් ඝාතන දෙකකට සෘජුවම සම්බන්ධය. ඇය 1986 දි මියුසිවෙල් හි රැළියක දි කළ ප්‍රකාශය ඒ වන විටත් ජාත්‍යන්තර වශයෙන් අප්‍රසාදයට ලක් වී තිබිණ " අපගේ ගිනි පෙට්ටි වලින් සහ ටයර් වල උදව්වෙන් අපි මේ දේශය මුදා ගනිමු" යි යනුවෙන් විනී මැන්ඩෙලා අදහස් කළ විරුද්ධ වාදීන් මැඩලීමේ ක්‍රමවේදය , එනම් ගෙල වටා ටයරයක් දමා ගිනි තැබීමේ කෲර චාරිත්‍රයේ අණ දෙන්නිය ලෙස විනී මැන්ඩෙලා කෙතරම් අපකීර්තියට පත්ව තිබුණේද පැවසුවහොත් 1998 දී දකුණු අප්‍රිකානු මානව කොමිසම් වාර්තාවක් මගින් ගැටුම් සමයේ ප්‍රාදේශීය ප්‍රචණ්ඩ ක්‍රියා සහ ටයර් දමා ගිනි තැබීම් (Necklacing) බහුතරයක් මෙහෙයවන ලද්දේ ඇය විසින් බව අනාවරණය කර තිබිණ. ඒ අනුව නෙල්සන් මැන්ඩෙලා 1990 දී නිදහස ලබන විට එතෙක් දේවත්වයෙන් සැලකුම් ලබමින් සිටි ඔහුගේ බිරිඳ ජනතා අප්‍රසාදයේ ගොහොරුවටම ඇද වැටී තිබිණ.
1992 පොලිස් හෙළිදරව්වත් සමගම ප්‍රකාශයක් නිකුත් කළ නෙල්සන් මැන්ඩෙලා තමා විනී මැන්ඩෙලාගෙන් වෙන්වන බව ප්‍රකාශ කළ ද ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වන්නේ 1996 වසර තරම් පසු කාලයකදී ය. 1994 දී ජනපති ධූරයට පත් වන නෙල්සන් මැන්ඩෙලා තම බිරිඳ වෙත නියෝජ්‍ය කැබිනට් ඇමති පදවියක් ද පිරි නමයි. නමුත් 1996 දී ඇයව ධූරයෙන් නෙරපාලන්නට ඔහුට සිදු වේ.
අතීතය පුරාවටම ඇය කළ කැපකිරීම සහ ඇය ගෙන ගිය සටන කෙතරම් උදාරතර වුවද ඇයගේ පසුකාලීන හැසිරීම හරහා ඒ රශ්මි කදම්බයන් සියල්ලම සැණෙකින් වියැකී ගියේය. 1991 වසරේ දී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු Michael S. Stegmann ඇය ගැන සඳහන් කළේ මෙපමණකි.
"ලැජ්ජා විරහිත පදනම් විරහිත බොරුකාරියක් "
2018 වසරේ අප්‍රේල් මස 02 වැනිදා මෙලොවින් සමුගන්නේ අප්‍රිකාවේ මාතාව ව සිටි ඒ ලැජ්ජා විරහිත පදනම් විරහිත බොරුකාරිය ය.
Hero to Zero බෙන් ජොන්සන්ගෙන් නවතින්නේ නැත. එසේම එය විනී මැන්ඩෙලා සමග මිහිදන් වන්නේ ද නැත.
විනී ! මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබට සුබ ගමන්
- සහන් කසීර වික්‍රමසිංහ -