පමා වී ආ වසන්තේ

පමා වී ආ වසන්තේ | වංචාකාර ජයග්‍රාහකයා ලෝකයා හමුවේ කඳුළු සලන්නට තීරණය කරන තෙක්ම ඔබ පරාජය ඉවසා දරා සිටිය යුතුය.
• පෝලීන් ඩේවිස් තොම්ප්සන් - බහාමාස් | 2000 සිඩ්නි ඔලිම්පික් (මීටර 200 )
ඇය 2000 සැප් 27 දා පැවති මීටර 200 තරගයේ දී රිදී පදක්කමක් හිමි කරගත් අතර දින තුනකට පසුව එනම් , සැප් 30 වැනිදා පැවති 100 X 4 කාන්තා සහාය දිවීමේ ඉසව්වෙන් පෝලීන් ඩේවිස් ප්‍රමුඛ බහාමාස් රාජ්‍යය රන් පදක්කමක් දිනා ගත්හ. එය බහාමාස් රාජ්‍යය විසින් දිනා ගත් පළමු ඔලිම්පික් මළල ක්‍රීඩා රන් පදක්කම ලෙස ඉතිහාසගත විය.
2009 දී දීර්ඝ විමර්ශන සහ කඳුළු වැගිරවීම් වලින් අනතුරුව ඇමරිකානු ක්‍රීඩිකාව මේරියන් ජෝන්ස් තමා තහනම් උත්තේජක භාවිතා කළ බව පිළිගත් අතර ඇගේ ඔලිම්පික් සහ අනෙකුත් පදක්කම් රැසක් අවලංගු කෙරිණ.
අනතුරුව 2009 වසරේ දී , 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර 200 ඉසව්වේ රන් පදක්කම ; එතෙක් රිදී පදක්කම් ලාභිනියව සිටි පෝලීන් ඩේවිස් තොම්ප්සන් වෙත පිරි නැමිණ.
ඒ අනුව බහාමාස් රාජ්‍ය දිනූ පළමු ඔලිම්පික් මළල ක්‍රීඩා රන් පදක්කම ලෙස ඉතිහාසගත විය යුත්තේ පෝලීන් ඩේවිස් දිනූ මීටර 200 පදක්කම ය. නමුත් මේරියන් ජෝන්ස් කඳුළු සැලුවේ තවත් ඔලිම්පික් උළෙල දෙකක්ම අවසන් වී වසරකින් ද පසුව බැවින් ඉතිහාසයේ පෝලීන් ඩේවිස් ට හිමි විය යුතු ගෞරවය අකාරුණික ලෙස මග හැරිණ.
• මර්ලින් ඔටේ - ජැමෙයිකාව | 2000 සිඩ්නි ඔලිම්පික් ( මීටර 100 )
• බෙවර්ලි මැක්ඩොනල්ඩ්ස් - ජැමෙයිකාව | 2000 සිඩ්නි ඔලිම්පික් ( මීටර 200 )
මේරියන් ජෝන්ස්ගේ කඳුළු ග්‍රන්ථි 2009 වසරේ සක්‍රීය වන තෙක්ම මේ ක්‍රීඩිකාවන් දෙදෙනා සැලකුණේ 2000 වසර ඔලිම්පික් උළෙලේ අදාල ඉසව් වල 04 වැනියා ලෙසය.
වසර 09 ට පසු පදක්කම් ප්‍රදාන, සැමරුම් , ඡායාරූප සහ සුබ පැතුම් අහිමි , නාමික ලෝකඩ පදක්කමක් ලැබෙන විට බෙවර්ලි මැක්ඩොනල්ඩ්ස් මළල ක්‍රීඩාවෙන් සමුගෙන අවසානය.
මර්ලින් ඔටේ ජැමෙයිකාවෙන් සමුගෙන ස්ලෝවේනියාවේ පුරවැසි බව ලබා එරට නියෝජනය කරමින් එක් ඔලිම්පික් උළලකට ද සහභාගී වී අවසානය.
පශ්චාත්තාපයේ කඳුළු වලින් සේදිය නොහැකි කිළුටු වූ අගනාකම් බොහෝය. ඒවා දකින්නට නම් වංචනිකයාගේ ඔඩොක්කුවෙන් මිදී වින්දිතයාගේ සපත්තුවට බැසිය යුතුය.
- සහන් කසීර වික්‍රමසිංහ -