යුද්ධෙ නැතුව පාලුද....?

මගේ තාත්තා ජාත්‍යන්තර පාසල් ගුරුවරයෙක්.. දැන් අවුරුදු කිහිපයක ඉඳලා විවිධ පාසල් වල උගන්වනවා. සිංහල බෞද්ධ ළමයි., ක්‍රිස්තියානි ළමයි, ඉස්ලාම් ළමයි ඉන්න හැම වර්ගයේම පාසල් වල. ටික කාලෙකට කලින් ඉගැන්නුවෙ ළමා නිවාසෙකට අයත් පාසලක... ඔය අතරෙ මුස්ළිම් ළමයි විතරක් ඉන්න ඉස්කෝල වල පවා උගන්නලා තියනවා..

ඒ ඉස්කෝල වල ඉන්න ගුරුවරු බහුතරයකුත් මුස්ලිම්. විදුහල්පතිතුමා පවා.
අපේ තාත්‍තා සිංහල බෞද්ධයෙක්. ඉගෙනගත්තෙ ආනන්දෙ. දහම් පාසල් ගුරුවරයෙක්.

හැබැයි තාත්තා කවදාවත් කියලා නෑ අර මුස්ලිම් ඉස්කෝල වල උගන්නනකොට වෙනස්කමක් උනා කියලා.
ඒ ළමයි ගුරු දිනේට තෑගි දෙනවා. තාත්තා භාර පන්තියෙ නොවන ළමයි පවා..
මමයි අපේ නංගියි බලාගෙන ඉන්නෙ රාමසාන් කාලෙ වෙනකන්.
නිවාඩුව ඉවරවෙලා ඉස්කෝලෙ පටන් අරන් සතියක් විතර යනකන් තාත්තා හැමදාම වටලප්පන්, සවාන් ගේනවා..

මම තාත්තා එක්ක ඒ ඉස්කෝලෙන් ගුරුමණ්ඩලය වෙනුවෙන් තියන ඉෆ්තාර් උත්සව වලට ගිහින් තියනවා. ඒ මිනිස්සු එක්ක එකට ඉඳගෙන කාලා තියනව.
ප්‍රයිස් ගිවින් වලට.. නිවාඩු දෙන දවස් වලට ගිහින් තියනවා.. ගුරු මණ්ඩලේ බහුතරයක් ඉන්න දෙමළ මුස්ලිම් ගුරුවරු අදටත් කතා කරලා සැප දුක් අහනවා. වෙඩින් වලට පාටි වලට ඉන්වයිට් කරනවා.

සමහර ළමයි තාත්තා බෞද්ධ හින්දා වැඳලා යන වෙලාවල් පවා මම දැකලා තියනවා.

තාත්තා සිංහල අච්චුපොතේ තියන ජාතක කතා පැහැදිලි කරනකොට ඒ ළමයි අහන ප්‍රශ්ණ අපි එක්ක ඇවිල්ලා කියනවා. ජීවක කතාවස්තුව , භක්ථ භක්තික කතාවත්තුව.. මහිංසාසක කුමාරයගෙ කතාව වගේ බෞද්ධ සාහිත්‍යය..

පාඩම ඉවරවෙලා ඒ පාඩම් වල තියන බෞද්ධ සංකල්ප ගැන සමහර ළමයි තාත්තාගෙන් අහනවලු. ජීවිතේට බුද්ධාගම අහලා නැති ළමයින්ට තාත්තා ඒවා පැහැදිලි කලේ කොච්චර අමාරුවෙන්ද කියල කියනවා. හැබැයි බුද්ධාගම ගැන කියලා දුන්නා කියල කවදාවත් ඉස්කෝලෙන්වත් ළමයිවත් දෙමව්පියොවත් තාත්තට මුකුත් කියල නෑ.

ඒ ළමයි ඒ බෞද්ධ සාහිත්‍ය ගැන ඕලෙවල් වලට විචාර ලියනවා.. වාර විභාග වල පේපර්ස් තාත්තා ගෙදර ගෙනල්ලා බලනකොට මමයි නංගියිත් ඕව ඉල්ලන් කියවනවා.

කොල්ලො මරාගත්තම තාත්තා උන්ට වේවැල් පාර දීලා දණගැස්සුව දවස් වල ඒ මිනිස්සුන්ගෙ ගෙවල් වලින් කතා කරලා කවදාවත් සිංහල සර් කෙනෙක් අපේ එකාට ගැහුවෙ මොකෝ කියලා අහලා නෑ..

තාත්තට කෝල් කරලා කැඩිච්ච සිංහලෙන් " හොන්ඳ වැඩේ ෂර්.. තව ගහන්ඩ තිබ්බෙ.. මුන්ට ගහන්නැතුව හඩාගන්ඩ බෑ.. හරිම්ම මුරණ්ඩුයි " කියනව මිසක්..

ඒ වෙලාවට තාත්තනං කියන්නෙ

"රණ්ඩුව බේරන්න ගැහුව මිසක් ගහලා හදන්න බෑ.. තව මුරණ්ඩු වෙනවා.. ඒක හින්දා හොඳින් කියලා හදාගමු..කොල්ලො ඔහොමයි.. පේන්නැද්ද අපේ එකා.." කියලා..

අසනීපයක් වෙලා ගෙදර හිටියම ළමයි කෝල් කරලා අහනව සර් දැන් හොඳයිද.. කවදද එන්නෙ කියලා.. උන් එක්ක ට්‍රිප් යනවා.. තාත්තා එක්ක සින්දු කියනව ගෙදර එනකන්ම.
හැබැයි තාත්තා කවදාවත් කියල නෑ තාත්තා සිංහල බෞද්ධ හින්දා වෙනස්කමකට ලක්වුණා කියලා..

ඔය 100% ක් මුස්ලිම් ළමයි ඉන්න ඉස්කෝලෙක සිංහල බෞද්ධ ගුරුවරයෙක්ගෙ මම හොඳින්ම දන්න කතාව..

ඔතන ඉන්න කොල්ලෙක් isis කාරයෙක් වෙන්න පුලුවන් පස්සෙ කාලෙක. හරියට මම ඉගෙනගත්ත 100% ක් සිංහල බෞද්ධ නාලන්දෙ ඉගෙනගත්ත සමහර කොල්ලො සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියපු බුදුන්ගෙ ධර්මය එක වසරෙ ඉඳන් ඉගෙනගෙන ඉස්කෝලෙන් එලියට ඇවිල්ලා ඥානසාර එක්ක වෙන ජාතිවල උන්ව බාබකිව් කරන්න.. ගහන්න මරන්න කතා කරනව වගේ..

ඒ හැමෝම ලංකාවේ ළමයි..
උන් එහෙම ත්‍රස්තවාදීන් උනාම ඒකට වගකියන්නෙත් ආයෙම මේකෙ ඉන්න උන්ම තමයි.
තරුණ පරම්පරාවට ජාතිවාදියො වෙන්න කියන්න එපා..
තව එකෙක් ජාතිවාදී නං විසඳුම අපිත් ඌ වගේ වෙන එක නෙමෙයි..
ජාතිවාදයක් ආගම්වාදයක් කවදාවත් තවත් ජාති ආගම්වාදයකින් බිඳින්න බෑ..

"ඔව් මම ජාතිවාදීයි" කියන එක පොරත්වය නෙමෙයි.. ඒක ගෝත්‍රිකකම..
මොකක් හරි දේකට මරාගන්න හදනව කියන්නෙ දියුණු මනුස්සයෙක්ගෙ ලක්ෂනයක් නෙමෙයි...
ලංකාවෙ බෞද්ධ බහුතරයක් ඉන්න හින්දා කොහොමත් එහෙම වෙන්න බෑ..
මොකද ඔබ සැබෑ බෞද්ධයෙක්නං ඔබට ජාතියක් උත්කර්ෂයට නගන්න බෑ..

"කම්මනා වසලෝ හෝති කම්මනා හෝතී බ්‍රාහ්මණෝ" හින්දා..

එහෙම කරන්න පුලුවන්. හැබැයි එහෙම කරලා බෞද්ධ කියලා කියන්න එපා.. සුනීතලා සෝපාකලට සාසනේ ඇතුලෙ ඉඩ දීපු බුදුන් වහන්සේට කරන ලොකුම අපහාසෙ ඒක..

ඉතින්...
ළමයින්ගෙ ඔලුවලට ජාතිවාදය දාන්න එපා.. ජාතිවාදය පටලවලා බොරු පතුරවන්න එපා..
ඒක ඔබේ ආත්මයටම ශාප වෙන කාලකන්නි වැඩක්..
ඒක නිසා ඇතිවන පළවෙනි ලේ බින්දුවෙ ඉඳන් ගොඩගහෙන හැම මිනියටම ඔබ වගකියන්න වෙනවා.. මැරෙනකන් ඔබේ පස්සෙන් එන ශාපයක් ඒක..

යුද්ධ කලා ඇති නැද්ද.. යුද්ධෙ නැතුව පාලුද.. ඔය පොටෝ එකේ ඉන්න සිරියානු දරුවා අත් උස්සන්නෙ කැමරාවකට.. තුවක්කුවක් කියලා රැවටිලා.. යුද්ධෙ කිසිම ආතල් එකක් නැත.

ඔය වගේ ළමයි .,මිනිස්සු ලක්ෂ ගාණක් මැරුණා ලංකාවෙ වගේම ලෝකෙ හැමතැනම යුද්ධෙට කිසිම සම්බන්ධයක් නැති.. ජාතිවාදියො කිහිපදෙනක්ගෙ මානසික ලෙඩ හින්දා..

ඔබ ජාතිවාදී නං ඒක ඔබේ ලෙඩක්.. ඒකට බෙහෙත් ගන්න.. අපිට බෝ කරන්න එපා..

කිසිම ජාතියක් කිසිම ආගමක් නිසා පුද්ගලයන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ නැත.
එසේ වන්නේ කරන ක්‍රියාවෙනි.

"නජජ්ජා වසලෝ හෝතී
නජජ්ජා හෝතී බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝතී
කම්මනා හෝතී බ්‍රාහ්මණෝ "
- ගෞතම බුදුන්

- චමල් අකලංක පොල්වත්තගේ.