ලසන්ත ඝාතකයාව රටේ මීළඟ ජනාධිපති කරමුද?

තරිඳු උඩුවරගෙදර
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්ව ඝාතනය කිරීම ගැන ඇඟ ලොමු දැහැගැන්වෙන කතාවක් රැගත් ලිපි පෙලක් ලියන්නට කරුණු එක්රැස් කළ ලියුම්කරුට, මේ ලිපිපෙල කලාවෙන්ම පටන්ගන්නට සිතුණි. ඒ සහෝදරයා ටෙලිනාට්‍යයෙනි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සැබැහින් මවාගන්නට කැමති අයෙකුට උදව් විය හැකි රූපරාමු පෙළක් සහෝදරයා ටෙලිනාට්‍යයේ පළමුවැනි කොටස ආරම්භයේදී දකින්නට ලැබෙයි. මෝටර් රියකින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු දුරකථනයෙන් කිසිවෙකු සමඟ කතාකරමින් ගමන් ගනියි. මාධ්‍යවේදියාගේ චරිතයෙන් එක්වෙන්නේ ප්‍රවීණ පරිපාලන නිලධාරියෙක් මෙන්ම මහා නාට්‍යකාරියකට බිරිඳ වූත් කඨෝර නිළි රැජිණට පියා වූත් ලයනල් ප්‍රනාන්දු මහතාය.
‘දැන් මරන්නේ නැහැ.’ ඇමතුමේ සිටින මාධ්‍යවේදියා එසේ කියයි. තමන් අවදානම් සහගත හෙළිදරව් කර ඇතත් මේ නව යුගයේදී ආණ්ඩු විසින් ඝාතනය මර්ධන උපක්‍රමයක් ලෙස පාවිච්චි නොකරනු ඇතැයි ඒ මාධ්‍යවේදියා විශ්වාස කරන බව ඒ දුරකථන ඇමතුමෙන් වැටහෙයි. ඒ අතර එක්වරම පිරිසක් විසින් මෝටර් රිය නවත්වා මාධ්‍යවේදියාට වෙඩි තබා පළා යයි.
මේ ටෙලිනාට්‍ය දර්ශණය සැබෑ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීමෙන් විශාල ආභාෂයක් ලබා ඇත. වෙනස්කම් ඇත්තේ කිහිපයක් පමණි. ලසන්ත වික්‍රමතුංගට තුවක්කුවකින් වෙඩි තැබුවේ නැත. ඒ වෙනුවට වෙනත් උපක්‍රමයක් පාවිච්චි කළේය. ලසන්ත ඝාතනය සිදුවූ ස්වභාවයම එකල සිටි ආණ්ඩුවට එරෙහිව ලියමින් සිටි හැම මාධ්‍යවේදියෙක්ම බියෙන් ත්‍රස්ත කරවන ආකාරයේ එකක් විය. මේ ලිපියෙන් ලසන්ත ඝාතනය ගැන මෙතෙක් හෙළිවී ඇති කරුණු මත ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කළ ආකාරය ගැන කතාකරන්නට අපි බලාපොරොත්තු වෙන්නෙමු. ඉදිරි ලිපි දෙකකින් ලසන්ත ඝාතන පරීක්ෂණ ගැනත් ලංකාවේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙත ලසන්ත ඝාතන පරීක්ෂණ ගමන්ගන්නා ආකාරයත් ගැන කතාකළ හැකිය.
එදා
දිනය 2009 ජනවාරි 08 වැනිදා විය. උතුරේ ආන්දෝලනාත්මක යුද්ධයක් අවසාන අදියරයට ලඟා වෙමින් තිබුණේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරමිනි. උතුර ජීවිත අවධානමේ බියෙන් ඇලලෙද්දී දකුණේ මහා ජනවර්ගය වීරත්වයෙන්ද, යුධ උන්මාදයෙන්ද මත්ව සිටියේය. ඒ උන්මාදය නිසාම යුද්ධයට අණදුන් නායකයන් ජනතාවට වීරයන් වූ අතර තමන්ට ඕනෑම දෙයක් කළ හැකියැයි දැඩි ආත්ම විශ්වාසයක් සමඟ නායකයන් සිටියේය. තමන්ට එරෙහි වෙන්නට කිසිවෙකුට ඉඩ ලබා නොදිය යුතු බව ඔවුන් විශ්වාස කරමින් සිටියේය. ඒ සඳහා ඔවුන්ගේ එකල ප්‍රකාශ ගැන අවධානය යොමුකිරිම වටියි.
එහෙත් ඔවුන්ගේ කීම නොඅසා ඔවුන්ට එරෙහිව කතාකළ අයට පාඩමක් ඉගැන්වීමේ වුවමනාවක් ඔවුන්ට තිබෙන්නට ඇත. දහස් ගණනකට කටවල් වසාදමන්නට එක් උදාහරණයක් කර පෙන්වීම ප්‍රමාණවත්ය. පහරදිය යුත්තේ ඉදිරියෙන්ම සිිටින කෙනාටය. පසුපසින් සිටින එය එවිට කටවල් වසාගනු ඇත.
මාධ්‍ය ලෝකයේ ඒ වනවිට ඉදිරියෙන්මම සිටි අය අතරින් සුනිල් මාධව ප්‍රේමතිලක වැනි ඇතැමුන් නිහඬව සිටියේය. වික්ටර් අයිවන් නම් කතුවරයා යුද්ධයට ආවඩමින් එවකට සිටි නායකයාට වක්‍රාකාර සහායක් ලබාදෙමින් සිටියේය. ඒ කතුවරයාගේ පුවත්පතේ කර්තෘ මණ්ඩලය පාලනයට දැඩිව එරෙහිවුණත් පුවත්පතේ මතයයැයි රාවයේ පාඨකයන් සැමවිට විශ්වාස කළේ වික්ටර් අයිවන්ගේ මතයයි. ඉතිරිව සිටියේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගය. ඔහුව තෝරාගන්නට එය ප්‍රධාන හේතුවක් වූවා විය හැකිය. අප නොදන්නා තවත් හේතු තිබුණාද විය හැකිය.
මේ ‘එදා’ තිබුණු දේශපාලන, සමාජ පසුබිමයි.
සියල්ලට පෙර
ඒ බ්‍රහස්පතින්දා දිනයකි. 2009 ජනවාරි 08 වැනිදාය. බ්‍රහස්පතින්දාව සතිපතා පුවත්පතක කතුවරයෙකුට වැඩ අධික දිනයකි. පූර්වාරාම පාරේ කන්දේවත්ත නම් ප්‍රදේශයේ ටෙරන්ස් පාර නම් පටුමගේ ලසන්තගේ නිවසක් තිබුණි. ඒ නිවසෙන් ලසන්ත මෝටර් රියෙන් පිටත් වුණේ එදා උදෑසන 8.20ට පමණය. ලසන්තට රියැදුරෙක් සිටියේය. එහෙත් එදින වාහනය පදවාගෙන ගියේ ලසන්තය. ලසන්ත යමින් සිටියේ බත්තරමුල්ලේ තිබුණු ඔහුගේ නිවසටය.ඒ අසනීප වූ සේවකයෙකුට බෙහෙත් ගැනීමටය. ලසන්තගේ රියැදුරා සිටියේ නිවසේය.
එසේ පිටත්වුණු ලසන්ත නිවස අසල පිහිිටි සිල්ලර බඩු කඩයක් අසලින් ලසන්ත යද්දී එතැන සිගරැට්ටුවන් උරමින් සිටි අයෙක් අන්න එනවා යැයි කීය. ඔහුත්, ඔහු සමඟ සිටි තවත් අයෙකුත් ඒ සමඟම ලසන්තගේ මෝටර් රිය පසුපස යන්නට විය.
මේ දෙදෙනා මෙතැනට 8.10ට පමණ පැමිණි බව සාක්ෂි දුන් අය කියයි. එක් අයෙක් හෙල්මට් එක පැළඳ සිටියේය. එක් අයෙක් සිගරැට්ටුවක් උරමින් සිටි නිසා ඔහුගේ මුහුණ පැහැදිළිව දකින්නට ලැබී තිබුණි.
එතැනම සිටි ත්‍රීරෝද රථ රියැදුරෙක් මේ දෙදෙනා ගැන සැක සිතුවේය. ත්‍රීරෝද රථය ඒ ප්‍රදේශයේ එකක් වූ අතර ලසන්ත වික්‍රමතුංග ගැන ත්‍රීවීලර් රියැදුරා දැන සිටියේය. ඔහු කඩේ මුදලාලිට මේ ගැන කීවේය. මුදලාලි ඒ විගසම ලසන්තගේ රියැදුරාට දුරකථන ඇමතුමක් ගත්තේය. එහෙත් ඒ වෙද්දී රියැදුරුගේ ජංගම දුරකථනය තිබුණේ ලසන්ත පදවාගෙන ගිය වාහනයේය.
රියැදුරා ඒ අතරේ කඩයට පැමිණ ඇත්තේ යමක් මිලදී ගන්නටය. රියැදුරාට සිදුවීම කියා ඇති අතර රියැදුරා ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනයට ගොස් එතැන මැනේජර් කෙනෙක් ලවා ලසන්තට දුරකථන ඇමතුමක් ගෙන ඇත. සිදුවීම ලසන්තට කියා ඇත.
බත්තරමුල්ලේ නිවසේ සේවකයාට බෙහෙත් ගන්නට යන අතරේ තමාව හඹා ආ යතුරුපැදි ලසන්ත දැක ඇත. ලසන්ත ඒ වනවිට රියැදුරාගෙන් පණිවුඩය ලබා තිබුණු අතර ඔහු මෝටර් සයිකල් ගැන විමසිල්ලෙන් බත්තරමුල්ලේ නිවසට වාහනය දමා ඇත.
නැවත බත්තරමුල්ලේ නිවසෙන් ලසන්ත පිටත් වුණේ මෝටර් සයිකල් ගැන අවධානයත් ඇතිවය. ඒ මොහොතේ වාහනයේ ලසන්ත සිටියේ තනිවමය. ඔහු ලීඩර් පබ්ලිකේෂන් ආයතනයට යෑමේ අරමුණෙන් බත්තරමුල්ලේ නිවසෙන් එළියට ආවේය.
මේ සිදුවීමෙන් එක් කාරණයක් පැහැදිළි වෙයි. එනම්, ලසන්ත තමන්ව එදින ඝාතනය කරනු ඇතැයි අනුමාන නොකළ බවයි.
වාහනයේ යන අතරේදී අසාත් සාලිට සහ මලික් සමරවික්‍රමට ලසන්ත දුරකථන ඇමතුම් ගෙන ඇත. තමා පසුපස එන මෝටර් සයිකල් ගැන ලසන්ත මලික් සමරවික්‍රමට කියා ඇත. මලික් ලසන්තට ආරක්ෂිත ස්ථානයකට යන්නැයි උපදෙස්ද ලබා දී ඇත. ලසන්තව ඝාතනය කරන්නේ මලික් සමරවික්‍රම සමඟ දුරකථන ඇමතුමේ ලසන්ත සිටියදීය. ඒ උදෑසන 10.30ට පමණය.
අත්තිඩිය මලගල කණිෂ්ඨ විද්‍යාලය අසල බස් නැවතුම්පලේ ලසන්තගේ වාහනයට ඉදිරියෙන් ගිය බස් රිය නතර වූ නිසා ඒ පසුපසින් ලසන්තගේ වාහනය නතර විය. යතුරුපැදි දෙකක් පැමිණ ලසන්තගේ වාහනය ඉදිරියෙන්ද, තවත් වාහන දෙකක් ලසන්තගේ වාහනය දෙපැත්තෙන්ද නතර විය. එක් අයෙක් ලසන්තගේ රියැදුරු ආසනය අසල වීදුරුව ආයුධයකින් බිඳ දැමීය. ඒ නින්දිත අපරාධය සිදුවිය. ඝාතකයෝ මෝටර් සයිකල්වලින් පලා ගියහ.
එතැන සිටි කිහිපදෙනෙකු ලසන්තව රෝහලට රැගෙන යන්නට වෑන් රියකට දමාගෙන ඇත. ඒ අතරේ ලසන්තගේ දුරකථනයට මලික් සමරවික්‍රමගෙන් ඇමතුමක් ලැබී ඇත. මලික් දුරකථනයට පිලිතුරු දුන් පුද්ගලයාට ලසන්ත ගැන විස්තර කියා වහා කළුබෝවිල රෝහලට ලසන්තව ගෙනයන්නැයි උපදෙස් ලබාදී ඇත. ඒ මොහොතේම මහාචාර්ය මොහාන් සිල්වා ඇතුළු පිරිසක් ලසන්තට ප්‍රතිකාර පිණිස කළුබෝවිලට පැමිණ ඇත. ඒ වෙද්දීත් ඔහුගේ පණනල තිබුණි.
එහෙත් දිවා කාලය ගත වෙද්දී ලසන්තට ජීවිතය අත්හරින්නට සිදුවිය.
බෝල්ට් ගන්
සිනමාවට කැමති අයෙකුට ‘නෝ කන්ට්‍රි ෆො ඕල්ඩ් මෑන්’ චිත්‍රපටිය හෝ පසුගිය වසරේ තිරගත වූ ‘ඉට්’ නමැති චිත්‍රපටිය සිහියට නඟාගත හැකිය. මේ චිත්‍රපටි දෙකේම මොඩල දෙකක බෝල්ට් ගන් හමුවෙයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යොදාගත්තේ කැප්ටිව් බෝල්ට් ගන් නම් ආයුධයයි. එහෙත් ඝාතන පරීක්ෂණ නොමඟ යවන්නට මෙය වෙඩි තැබිමක් ලෙස පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙහි සඳහන්ව තිබුණි.
මස් සඳහා සතුන් මැරීමේදී සතාගේ සිරුරට වෙඩි බෙහෙත් ඇතුළුවෙන නිසා තුවක්කුව පාවිච්චි කළ නොහැකිය. ඒ නිසා තුවක්කුවක් වැනි, එහෙත් වෙඩි බෙහෙත් පාවිච්චි නොකෙරෙන ආයුධයක් වශයෙන් බෝල්ට් ගන් නම් ආයුධය පාවිච්චි කෙරෙයි.
මුල් කාලයේ ලසන්ත ඝාතන පිළිබඳව විමර්ශණ සිදුකළ ගල්කිස්ස පොලීසියේ ස්ථානාධිපති ( අපරාධ ) උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල මහතා විසින් පරීක්ෂණ වලට බාධා එල්ල වෙද්දී සඟවා තබා තිබුණු සටහන් තොගයක තිබුණු ඉංග්‍රීසි භාෂාවෙන් යුතු වාර්තාවක බෝල්ට් ගන් ගැන විස්තරයක් එයි. මේ අපරාධයට පාවිච්චි කලේ බෝල්ට් ගන් එකක් බව තුවාල පරීක්ෂාවෙන් පසුව පරීක්ෂණවල සිටි අයගේ නිගමනය විය.
සිදුවීම ඇසින් දුටු අයගේ සාක්ෂිවල පැහැදිළිව තිබුණේ ඝාතකයන් විසින් උල් ආයුධයක් වැනි යමකින් ලසන්තට අනිනවා දුටු බවයි.රජයේ රස පරීක්ෂකගේ ස්ථානීය පරීක්ෂාවෙන්ද මෙය වෙඩි තැබීමක් නොවන බව සඳහන් කර තිබුණි. ඒ කාරණයම සහතික කරමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණ පරීක්ෂන වාර්තාවක් 2009 ජනවාරි 12 වැනිදා සුනිල් කුමාර නම් අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කර තිබුණි. පෙර කී පරිදි ලසන්ත වික්‍රමතුංගට ප්‍රතිකාර කරනු පිණිස කැඳවා තිබුණේ මහාචාර්ය මොහාන් සිල්වා මහතාවය. වාර්තාවක් ලබාදෙමින් මහාචාර්යවරයා කියා තිබුණේද ශරීරයෙන් උණ්ඩ කොටස් හමු නොවූ බවයි. මෙය වෙඩි තැබීමක් නොවන ව වාර්තාවේ පැහැදිළිව තිබුණි.
එහෙත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුණේ මෙය වෙඩි තැබීමකින් සිදුවූ මරණයක් බවයි.
අධිකරණ වෛද්‍ය නිලධාරී සුනිල් කුමාර මහතා වැරදි වාර්තාවක් ලබාදුන්නේ ඇයි? ඒ පසුපස ඇති රහස ඔහුට එදින පැමිණි දුරකථන ඇමතුමක් විය හැකිය. ඔහුට එදින උපදෙස් මාලාවක් රැගත් දුරකථන ඇමතුමක් ආවේය. පරීක්ෂණ අවුලෙන් අවුලට යවමින් ලසන්ත ඝාතනය වෙඩි වැදීමකින් සිදුවූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරීගේ වාර්තාව නිකුත් විය.
මේ සියල්ල වෙද්දී පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ජයන්ත වික්‍රමරත්න මහතාය. ගල්කිස්ස ප්‍රදේශය භාරව නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේ ප්‍රසන්න නානායක්කාර මහතාය. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළේ ප්‍රසන්න අධිකාරි ය. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළේ මහේෂ් පෙරේරාය. ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළේ උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල මහතාය. මේ පුද්ගලයන් කිහිපදෙනා ලසන්ත ඝාතන කතාන්දරයේ වැදගත් කොටසක් ඉටුකරයි. ඒ නිසා මේ නම් මතක තබාගැනීම ලිපියේ ඊළඟ කොටසට යද්දී වැදගත්ය.
මරණයෙන් පසුව
ඝාතනයෙන් පසුව සිදුවූ දේවල් සියළුදෙනාගේ දෑස් ඉදිරිපිට සිදුවිය. එහෙත් මේ සම්පූර්ණ කතාව කියන්නට සූදානම් වෙන මොහොතේ පසුව සිදුවූ දේවල් කෙටියෙන් කීම වටී.
ලසන්ත ඝාතනය සිදුවූ විගස හෝ ඉන් කාලයක් ගතවෙනතුරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන උනන්දුවන පිරිසකට හැර බොහෝදෙනෙකුට ලසන්ත ඝාතනය ‘සැලකිය යුතු’ සිදුවීමක් නොවීය. මාස දෙකකට පසුව වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිරුර හමුවුණේ රටක ජනතාව මරණයක් සමරමින් කිරිබත් කා රටේ ඇති අර්බුද සියල්ල අවසානයැයි කල්පනා කරන තැනට පසුබිම නිර්මාණය කරමිනි. බහුතර ජන කණ්ඩායමේ බහුතරය පාලකයන් සමඟ වීය.
එහෙත් පුංචියට හෝ දැඩි විරෝධය ආරම්භ විය. සාටකයා ඝාතකයායැයි ලසන්තගේ අවමංගල්‍ය උලෙළේදීම සටන්පාඨ කියැවිණ. මේ පාලකයන්ව එළවා දමන්නට ‘පුරවැසියන්’ අතරින් ගිනි පුපුරක් දැල්විණි. වසරක් යද්දී ප්‍රගීත් එක්නැලිගොඩව අතුරුදන් කරද්දී වුව බොහෝදෙනෙකුට එය ගැටලුවක් නොවීය. 2010 දී ඝාතකයන්ට යළි බහුතරයේ අනුමැතිය ලැබුණි. එහෙත් ඒ වෙද්දී වුව ගිනිපුපුර ගිනිමැලයක් වෙමින් පැවතුණි.
එහෙත් පසුව හෝ ඝාතකයන්ගේ පාරට ඔවුන්ගේ ඝාතන හරස් විය. අර ගිනිපුපුර ගිනිජාලාවක්ව තිබුණි. ඒ ලසන්ත ඝාතනයෙන් හරියටම වසර හයකට පසුව 2015 ජනවාරි 08 වැනිදාය. ඒ දවස ගෙවුණේ ලසන්තගෙන් පටන්ගත් ඝාතක පාලනයක් රටේ සමස්ථ ජනතාවගෙන් බහුතරය විසින් ප්‍රතික්ෂේප කරමිනි. අප දැන් කල්පනා කළයුත්තේ නැවතත් ඒ ඝාතකයන්ගේ යුගයට යනවාද යන්න පිළිබඳවයි.
අපේ කතාව ඉදිරියට ගලායන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ දක්වාය. ලසන්ත ඝාතනය වූ හැටි බොහෝ දෙනෙක් දැනටමත් දැන සිටිනවා විය හැකිය. එහෙත් පරීක්ෂණවල තත්වය ගැන නොදන්නා අය බොහෝ විය හැකිය. හෙට විපක්ෂය වෙබ් අඩවියෙන් ලසන්ත ඝාතන පරීක්ෂණ පිළිබඳව කතාකරන්නට අපි බලාපොරොත්තු වන්නෙමු.