තෙල්දෙණියේ ප්‍රහාරය අහම්බයක් නොවේ

තරිඳු උඩුවරගෙදර


තෙල්දෙණිය උඩුදුම්බර පදිංචිකාර දෙදරු පියෙක්ට තරුණයන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී ඇත්තේ පසුගිය 22 දාය. ඒ පුද්ගලයා රෝහල්ගතව සිට මියගොස් ඇත්තේ මාර්තු 02 දාය. එහෙත් මුස්ලිම් කඩවලට ගිනිතැබීම සිදුවන්නේ මාර්තු 04 දා රාත්‍රියේය.


මේ ක්ෂණික කෝපයෙන් අපරාධයකට ප්‍රතිචාර ලෙස අහම්බෙන් කළ පහරදීම්ද? එසේනම් ඒ පහරදීම් පෙබරවාරි 22 හෝ මාර්තු 02 සිදු නොවුණේ ඇයි? ක්ෂණික කෝපය ඇතිවෙන්නට ඉරිදා තෙක් කල් ගතවුණේ ඇයි? තෙල්දෙණියේ සිදුවීම් ගැන විස්තර බුද්ධිමත්ව විමසන්නෙකුට මේ ප්‍රශ්ණ ඇතිවීම වැළැක්විය නොහැකිය.
ඇත්ත වශයෙන්ම තෙල්දෙණියේ පහරදීම් ක්ෂණික කෝපය නිසා සාමාන්‍ය ජනතාව කලබල වීමෙන් ඇතිවූ ඒවා නොවේ. ඒවා ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක කළ පහරදීම්ය. ජාතිවාදී නැඟිටීම්වලින් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණෙන් කටයුතු කරන විවිධාකාර පුද්ගලයන් මේ සිදුවීම් පසුපස සිටින බව පැහැදිළිය. තෙල්දෙණියේ සිදුවීම තව තවත් තහවුරු කරන්නේ තවත් භයානක විනාශයක මුවවිටෙහි ලංකාව සිටින බවයි.
සිදුවීම
පෙර කී ආකාරයට මේ සියල්ල ඇරඹෙන්නේ පෞද්ගලික ගැටුමකිනි. පුංචි ආරවුලකින් පසුව තරුණයන් පිරිසක් අමානුෂික ලෙස 41 හැවිරිදි කුමාරසිරි නම් පුද්ගලයාට පහරදී ඇත. මැදමහනුවර අම්බාලේ නම් ප්‍රදේශයෙහි පදිංචිව සිටි ඔහු ලොරි රථ රියැදුරෙකි. පහරදීමෙන් පසුව බරපතල තුවාල ලත් ලොරි රථ රියැදුරු කුමාරසිරි මහතාව සහ ඔහුගේ සහායකයාව මහනුවර මහා රෝහලට ඇතුලත් කර ඇත. එසේ වුවත් මේ අමානුෂීය පහරදීමට ප්‍රතිචාර ලෙස ජාතිවාදී කලබලයක් 22 දා ඇති නොවීය.
අසාධ්‍ය තත්වයේ සිටි රියැදුරා මහනුවර මහා රෝහලේදී මියගොස් ඇත්තේ  මාර්තු 02 වැනි සිකුරාදාය. සිකුරාදා ඔහු මියයෑමෙන් පසුව පහරදීමට විරෝධය පාමින් ප්‍රදේශවාසී ජනතාව විරෝධතා පවත්වා ඇති බව වාර්තා වෙයි. එහෙත් බරපතල පහරදීම් එදිනද සිදුනොවීය.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් අවසන් කටයුතු කළ යුතුව තිබුණේ 05 වැනිදාය. පොලීසිය ඒ වනවිටත් ඔහුව ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක්ව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණි. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අඩුපාඩු සිදුවුණායැයි කේන්තිය මත පහරදීමක් සිදුවිය නොහැකිය. එහෙත් අසාමාන්‍ය ලෙස මාර්තු 04 වැනිදා රාත්‍රියේ මුස්ලිම් කඩ දෙකකට පහරදීම සිදුවිය. එක් කඩයක් උඩිස්පත්තුවේ සහ අනෙක් කඩය මොරගහමුලේ විය. තවත් කලබල ඇතිවෙන බව පෙනෙන්නට තිබුණි. 04 වැනිදා රාත්‍රිය වෙද්දී වේගයෙන් තෙල්දෙණිය, දිගන ආදී ප්‍රදේශවල ජනතාව සංවිධානය වෙන්නට පටන්ගෙන ඇත. 05 වැනිදා උදෑසන විශාල මුස්ලිම් විරෝධී ප්‍රහාරයකට පසුබිම නිර්මාණය වි තිබුණි.

මාර්තු 05 වැනිදා තෙල්දෙණිය, දිගන ආදී ප්‍රදේශවල මාර්ග වසා, ටයර් ගිනිතබා දැවැන්ත විරෝධතා සංවිධානය වී තිබුණි. මුස්ලිම් විරෝධී අදස්වලින් උසිගන්වන ලද දහස් ගණනක සිංහල ජනතාව එක්ව සිටියේ මුස්ලිම් ජනතාවට ‘පාඩමක්’ ඉගැන්විමට විය යුතුය.


තෙල්දෙණියේදී දෙදරු පියාට පහරදීම කිසිසේත් අනුමත කළ නොහැකි සිදුවීමක් නොවේ. මේ සියල්ල මහා ගැටුමක් දක්වා යනු ඇතැයි පහරදෙද්දී ඔවුන් කල්පනා නොකළා විය හැකිය. එහෙත් මේ ගැටුමේ මුල පහරදුන් අය බව ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි.


මෙවන් ගැටුම් සහ ඝාතන ලංකාවේ ඕනෑ තරම් සිදුවන බව සැබෑය. එහෙත් ආණ්ඩුව දුර්වල වීමත්, අම්පාරේ සිදුවීමත්, පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිපලයත් සමඟ අලුතෙන් නිර්මාණය වූ පසුබිමක මෙය තවත් එක් ගැටුමක් නොවීය. ගැටුමට සම්බන්ධ වූ අයගේ ජනවර්ගය සියල්ලන්ටම වැදගත් විය. මෙය මහා ගැටුමක් ඇතිකිරීමට අනගි අවස්ථාවක් වී තිබුණි. සමාජ මාධ්‍ය සහ ප්‍රදේශයේ ජනතාව අතර මේ සිදුවීමට සම්බන්ධ කොට ජාතිවාදී අදහස් වේගයෙන් හුවමාරු වුණේ එය සැලසුම් සහගතව මෙහෙයවූ නිසාය.


ඩෑන් ප්‍රියසාද්, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු ප්‍රසිද්ධ අන්තවාදී නායකයන් අවමංගල්‍ය උත්සවයට සහභාගී වී තිබුණි. එහෙත් ඔවුන් ප්‍රසිද්ධියේ කිසිදු ප්‍රහාරයක් සංවිධානය කිරීම හෝ අනුබල දීම කර තිබුණේ නැත. එහෙත් ඔවුන්ගේ ගිහි සහ චීවරධාරී හිතවතුන්, අනුගාමිකයන් ආදිය කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කිරීම වටින්නේය. ඇතැම් අය සමාජ මාධ්‍යවල හැසිරුණු ආකාරයද නිරීක්ෂණය කළ යුතුය. මේ ප්‍රහාරයන් සංවිධානය කළේ ඔවුන්ගේ මෙහෙයවීමෙන් බවට ඔවුන්ට හිතවත් වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු නිරීක්ෂණය කරන්නෙකුට පැහැදිළිව අවබෝධ වනු ඇත.


පොලීසිය මේ වනවිට නුවර බල ප්‍රදේශයේම ඇඳිරි නීතිය පනවා ඇත. නුවර පාසැල් වසා දමා ඇත. කඳුළු ගෑස්, ජල ප්‍රහාර ආදී උපක්‍රම යොදා ජනතාව පාලනය කිරිම සිදුවිය. අලුත්ගම දර්ගා නගරයේදී මෙන් එස්.ටී.එෆ්. අනුග්‍රහය ප්‍රහාරවලට ලැබි නොතිබුණි. ඉතා මන්දගාමීව වුණත් පොලීසිය මේ ප්‍රහාර නවත්වන තැනට කටයුතු කර තිබුණි. ආණ්ඩුවේ ඍජු අනුග්‍රහය ප්‍රහාරවලට ලැබී තිබුණේ නැත. එහෙත් වක්‍රාකාර අනුග්‍රහය තිබුණාදැයි අප දන්නේ නැත.


පහරදීම ගැන පොලීසියටද අඩු වැඩි වශයෙන් තොරතුරු ලැබී ඇති බව පැහැදිළිය. තෙල්දෙණිය ආශ්‍රිත ප්‍රදේශවල මුස්ලිම් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුටම ව්‍යාපාරික ස්ථාන වසා දමා පරෙස්සමෙන් සිටින ලෙස පොලීසියෙන් උපදෙස් ලබා දී ඇත. එසේ උපදෙස් ලබාදුන් පොලීසියට මේ ජාතිවාදී පහරදීම් සිදුවෙන්නට පෙර නැවැත්වීමේ හැකියාවක් හොඳින් තිබුණි. එහෙත් ලංකාවේ පොලීසියට හෝ එහි යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ආණ්ඩුවට මේ අර්බුදයේ භයානක බව ගැන නිසි උපදෙස් ලැබී නැතිවා පමණක් නොව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන දැනුම්වත් කිරීම්ද සිදුවී නැත. පොලීසිය සාමාන්‍ය වේගයෙන් කටයුතු කරන අතරෙහි ක්‍රමයෙන් මුස්ලිම් විරෝධී පහරදීම් සංවිධානය කෙරිණ.
ඒ නිසාම මේ සිදුවීම් ගැන පොලීසිය සහ ආණ්ඩුවද අඩු වැඩි වශයෙන් වගකිව යුතුය.


සැබෑ වශයෙන්ම ප්‍රදේශයෙහි සිදුකර ඇති හානිය ගැන නිසි තක්සේරුවක් නැත. එහෙත් 05 වැනිදා හවස් වරුවේ ඇඳිරි නීතිය පනවා විරෝධතාකරුවන් විසුරුවන්නට කටයුතු කරන තෙක් මහපාර වසා දමා නිදහසේ විරෝධතාකරුවන්ට හැසිරෙන්නට ඉඩ ලැබුණු බව පෙනෙයි. පොලීසිය සහ නිල මාධ්‍ය වාර්තා කරන තත්වයට වඩා බරපතල හානි සිදුවී ඇති බවද දැනගන්නට ඇත.
අනාගතය
මේ සිදුවීම ඉතාම බරපතල ලෙස තැකිය යුතු බව ලියුම්කරුගේ අදහසයි. මෙය ඉදිරියේදී වළක්වාගත යුතු මහා විනාශයක පෙරනිමිත්තකි. ඊළඟට සිදුවිය හැකි භයානකම සිදුවීම වන්නේ සිංහල සුළුතරයක් සහ මුස්ලිම් බහුතරයක් සිටින ප්‍රදේශයක සිංහල ජනතාවට ප්‍රහාරයක් එල්ලවීමයි. එක් පුද්ගලයෙකුට හෝ එවැනි ප්‍රහාරයක් සිදුවී තිබුණොත් එය රටපුරා මුස්ලිම් විරෝධී භීෂණයක් ඇතිවීමට හේතුවනු ඇත.


තෙල්දෙණිය සිදුවීමේදී කටයුතු කළ ආකාරයෙන් මඳ වේගයෙන්ම පොලීසිය සහ ආණ්ඩුව කටයුතු කළහොත් ඒ දරුණු භීෂණය කිසිසේත්ම වළක්වාගත නොහැකි වනු ඇත. පිස්සු බල්ලන් මෙන් පාරට බහින ජාතිවාදීන්ව කිසිසේත් පාලනය කරගත නොහැකි වනු ඇත. දහස් ගණන් පුද්ගලයන් අම්පාරේ, තෙල්දෙණියේ සිදුවීම් අනුමත කරන බව සමාජ මාධ්‍ය දෙස බලද්දී පෙනී යන්නකි.


අනෙක් අතට මේ සිදුවීම පොහොට්ටුව දියෙන් මතුවෙද්දීම සිදුවූවකි. මේ ප්‍රහාර සියල්ලම පාහේ පළමුවෙන්ම වාසිදායක වෙන්නේ පොහොට්ටුවට බව සියළුදෙනා පැහැදිළි කරගත යුතුය. පොහොට්ටුව පිපුණහොත් රාජ්‍ය අනුග්‍රහ ඇතිවම මේ භීෂණය වර්ධනය වනු ඇත. අනෙක් අතට ආණ්ඩුව මේ තරම් අලස ලෙස කටයුතු කළොත් පොහොට්ටු ආණ්ඩුවක් නැතිවම භීෂණය අප ඉදිරියට පැමිණෙනු ඇත. ඉතින් දැන් බරපතල සංවාදයකට කාලයයි.