අද වගේ දවසක මැන්ඩෙලා

වසර 27 කට පෙර අද වැනි දිනයක දී විසිහත් වසරක සිරගත ජීවිතයට නිමා කරමින් දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා වෙත නිදහස හිමි විය
ඒ සුදු පාලකයින් විසින් ස්වදේශික කළු ජනතාව පාගා මඩිමින් සිටි අඳුරුතම යුගයයි.

1961 වසරේදී ඇරඹූ තුන්දින වැඩ වර්ජනය හේතුවෙන් 1962 වසරේදී අත් අඩංගුවට ගැනෙන නෙල්සන් මැන්ඩෙලා 1963 වසරේදී ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කෙරේ. එක් පසෙක රොබින් දූපතේ අමානුෂික වධ බන්ධනයට ලක්වන මැන්ඩෙලාය. තවත් පසෙකින් ජාත්‍යන්තරය ඉදිරියේ වාරණයට සහ තහනමට ලක් වෙන දකුණු අප්‍රිකාව ය.
මැන්ඩෙලා සිරගත කිරීමත් සමගම දකුණු අප්‍රිකාව තුළ පැසවන වර්ණවාදය පිළිබඳව ජාත්‍යන්තර විරෝධයක් ගොඩ නැගේ. එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු අප්‍රිකානු සිතියම සමස්ත ක්‍රීඩා ලෝකයෙන්ම අතු ගෑවී යන්නේය.

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් වසා දැමූ ඔලිම්පික් දොරගුළු දකුණු අප්‍රිකාවට යළි විවර වන්නේ 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලේදී ය. 1970 දී ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයෙන් තහනම් වන ඔවුන් යළිත් වරක් ටෙස්ට් වරම් ලබන්නේ 1994 දී ය.


නමුත් නොසැලී ඉන්ද්‍රඛීලයක් මෙන් දරා සිටි නෙල්සන් මැන්ඩෙලා 1991 පෙබරවාරි 11 වැනි දා නිදහස ලබනාවත් සමගම ජාත්‍යන්තරයේ වැසුණු දොරගුළු දකුණු අප්‍රිකාව වෙත යළි විවර වේ.
දසක තුනකට නොඅඩු කාලයක් ඔහු සිරබත් කන්නේ වනුයේ මිනිස් පරපුරේ උදාර වූ නිදහස අයිතිවාසිකම් වෙනුවෙන් විනා තම පාලන සමයේ කළ අයථා වංචා හෝ ගනුදෙනු නිසා නොවේ.

තවමත් වර්ගවාදය , ආගම්වාදය පතුරමින් බලයේ රැඳෙන්නට සහ බලකාමයෙන් කළ කී දෑ සාධාරණීකරණය කරන්නට වෙර දරන අපේ කාලයේ නායකයින් ට මැන්ඩෙලා ගේ මෙවදන් යකුළු පහරක් වනු නිසැකය.

"කිසිවෙකු උපතින් තවත් පුද්ගලයෙකුගේ සමෙහි වර්ණය හෝ මනුෂ්‍ය පසුබිම හෝ ඔහුගේ ආගම නිසා තවත් කෙනෙකුට වෛර කරමින්නේ නැත. වෛර කිරීමට මිනිසුන් ඉගෙන ගත යුතුය. ඔවුන්ට වෛර කිරීමට ඉගෙන ගත හැකි නම් ඔවුන්ට ආදරය කිරීමටද ඉගැන්විය හැකියි"

නෙල්සන් මැන්ඩෙලා. ආත්මයෙන් මියැදුණු මිනිසුන් බලය වෙනුවෙන් පිළිකුල් සහගත අරගලයක යෙදෙන යුගයක ඔබ අදටත් ජීවමාන වූ සැබෑ මිනිසෙකි
- සහන් කසීර වික්‍රමසිංහ -