මොකක්ද මේ ලිච්ඡවී පාලනය?

ලිච්ඡවීන් නැවත කියවීම
ලිච්ජවී රාජ්‍යය හා සප්ත අපරිහානියධර්ම මැතිවරණ සමයේදී නැවත කරලියට ආවේය. එය දේශපාලන වේදිකාව වර්ණවත් කරවූ තවත් එක් වෙළද දැන්විමක් විය හැකි වුවත් ලිච්ජවී රාජ්‍යය හා එහි ඉරණම පිළිබඳව කතිකාවතක් නැවත ගොඩනැගීමට මේ සුදුසු කාලයයි සිතේ.

ඉතිහාසය නැවත නැවත සිද්ධ වන බවට යම් සේයාවන් පසුගිය ශතක කීපය අධ්‍යනය කිරීම තුලින් ඉගැනීමට අපට හැකිවිය. ඉතිහාසය වර්තමානයේ සැරිසරන්නට පටන් ගෙන ඇත. එක් අතකින් ගෝත්‍රික අදහස් මුලිනුපුටා දමා ජනතා හදවත් ලෝකයට විවෘත කල යුතු යැයි යෝජනා කරන පාර්ශවයම අනෙක් අතට ගෝත්‍රික පාලන තන්ත්‍රයක් ගෙන එන බවට අදහස් පල කරයි. ඒ අනුව මේ යොජනාව පැහැදිලි අවබෝධයකින් නොකල එකක් බව පැහැදිලිය. එහෙත් හොදට හෝ නරකට හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව ලිච්ජවීන් නැවත කරලියට පැමිණ තිබේ. එය අපව නැවත ඉතිහාසයට රැගෙන යන අතර ලිච්ඡවීන්ගේ ආගමනයත් සමගම ඔවුන්ගේ විනාශයේ කාරණාත් එය සිද්ධ වූ ආකාරයත් අප රටේ වර්තමාන දේශපාලන තත්වය සමග සන්සන්දනය කිරිමටද ආරාධනා කරයි. ඒ සමගම අප ඉදිරියේ ප්‍රශ්නයක්ද ඉතිරි කරයි.


සැබෑවටම කූට උපක්‍රම තුලින් ලිච්ඡවී සමූල ඝාතනය කලා නොවේද? එසේනම් අපේ ඉරණමද එබඳුම වේද? ලිච්ඡවීන් යනු ගෝත්‍ර කීපයක් එක් වී සෑදුනු සංයුක්ත රාජ්‍යයක එක් ගෝත්‍රයකි. මෙවන් රාජ්‍යයන්හි දේශපාලන ක්‍රමය රාජාන්ඩු දේශපාලන ක්‍රමයට වඩා වෙනස් විය. ගණරාජ හෙවත් සමූහයක් විසින් පාලනය කල රටවල් මෙවන් රාජ්‍යයන්ට උදාහරණ විය. විශෙෂයෙන් රජකු රහිත පාලන තන්ත්‍රයක් මේවායෙහි තිබීම මේවා රාජාන්ඩු පාලන තන්ත්‍රවලින් වෙනස් වීමට හේතු විය.

වජ්ජීන් යනු ලිච්ඡවී ගෝත්‍රය ඇතුලු වූ සමූහපාලන රාජ්‍යයකි. විශේෂයෙන් වජ්ජී පාලනය තුල පවුලේ වගකීම මහත් ගෞරවයක් සේ සලකයි. එමෙන්ම සදාචාරය තීරණය කරන ලක්ෂණයද පවුල විය. මෙහි ස්භාවය සාපේක්ෂ වශයෙන් සරලය. ප්‍රධානතම ජන කොට්ටාශය ක්ෂ්ත්‍රිය ජනගහනයයි. වජ්ජි සභාවේ සභාපති ගණරාජ යනුවෙන් හැදින්වේ. ඒකාධිපති බලතල නොදැරූ ඔහු සමානයන් අතර ප්‍රධානියා ලෙස සැලකිණ. මෙලෙස බුදුන් දවස සංවිධානය වී තිබූ ප්‍රධානතම ගෝත්‍රික සමූහය ලෙස වජ්ජීන් හඳුනාගත හැකිය.


කෙසේ වුවද වජ්ජීන් රාජාණ්ඩු ක්‍රමයට දරුණු ලෙස විරෝධය දැක්වූ අතර තම සම්ප්‍රදායන් ආරක්ෂා කරගැනීමට ප්‍රබල උත්සහයක් දැරූහ. සාමූහිකවාදී බව හා ප්‍රජාතන්ත්‍රවාදී බව මොවුන්ගේ රදා පැවැත්මේ ප්‍රධාන සාධකය විය.දේශපාලන බලය පරම්පරාවෙන් උරුම වූ පවුල් රාජකීයයන් ලෙස හැදින්වූ අතර සෘජු නිශ්පාදනයට ඔවුන් දායක වූ බවක් නොපෙනේ. ඔවුන් කෘෂිකාර්මික හා පරිපාලනය අධීක්ෂණය කරන්නට ඇත. කෙසේ වුවද එක්සත් බව හා පරම ප්‍රජාතන්ත්‍රවාදී බව නිසාම මෙම ගෝත්‍රයන් වැනසීමට නොහැකි වූවා මෙන්ම ඔවුන්ගේ ශක්තිය රැදී පැවතුනේ ඔවුන්ගේ එක්සත් බව තුලය.

තම ගෝත්‍රයට වංශයට සේවයක් සිදුකල මුතුන් මිත්තන්ගේ අස්ථි, දිය බුබුලක හැඩයෙන් යුතුවූ පස්කඳු හෝ ගල්කඳු වලින් ස්තූප තනා ඒවායෙහි නිදන් කරවා මුතුන් මිත්තන් වනදනාමාන කිරිම මෙම ගෝත්‍රිකයින්ගේ ප්‍රධාන සංස්කෘතිකමය ලක්ෂණය වූවේය. මෙම චෛත්‍යය වන්දනාවෙන් ප්‍රකාශිත වූයේද සාමුහික එකමුතුවයි. එසේම තම වංශයට සලකුණ වූ වෘක්ෂයකට වන්දනාමාන කිරීමයද ආවේණික ලක්ෂණයක් විය. වජ්ජින්ගේ අගනුවර වූ වේසාලියේ අලංකාර චෛත්‍යය වූ බවද බුදුන් වහන්සේ මේ සන්සුන් නිහඩ නිසසල වට කෙරැනූ ස්ථානවලට මහත් සේ ඇලුම් කළ බවද ඉතිහාසයේ සඳහන්ය. පහුගිය දිනවල දේශපාලන වේදිකා තුල අලුතින් බිහිකිරීමට කතිකා කළ රාජ්‍යය මෙබඳු වේ. ඉතිහාසයේ කවර හෝ සථානයක ඉදිව තිබූ මේ රාජ්‍යයේ සංස්කෘතීක ස්භාවය අප රටට නුහුරු නොවන බව පැහැදිලිය. අද මෙන්ම එදවසද රාජාණ්ඩු මේ ගෝත්‍රිකයන් යටත්කර ගැනිමට මාන බැලූහ. ඒ එවායෙහි වූ මානව සම්පත හා ස්වාභාවික සම්පත කොල්ල කෑමටය. රාජාණ්ඩු වල දෘෂ්ටිවාදින් හෙවත් අදහස් මවා පතුරුවන්නන් හරහා ප්‍රකාශයට පත්වන්නේ රාජාණ්ඩු පාලකයන් තුල මෙම ගෝත්‍ර කෙරෙහි පැවති ලෝභය හා වෛරයයි. රාජාණ්ඩු වල බ්‍රාහ්මණිකයන් මෙම ගොත්‍රයන්හි විවාහ චාරිත්‍ර හා සම්ප්‍රදායන්ටද ඔවුන්ගේ සංස්කෘතියටද ගර්හා කළහ.


ලිච්ඡවී රාජ්‍යය සමග බැඳි පවත්නා අනෙක් ප්‍රසිද්ධ කාරණය ලිචඡවීන්ගේ සමූල ඝාතනයයි. ලිච්ඡවී රාජ්‍යය ඇති කිරීමට අදහස් කරන ඇත්තන් එයින් පසු එහි විනාශයට මුහුණ දීමටද සූදානම් විය යුතුය අදවන විට එම විනාශයේ පෙරනිමිති තැනින් තැන අපට දක්කනට ලැබේ . එදවස ලිච්ඡවීන් මුලිනුපුටා දැමීමට රාජාණ්ඩු බාවිතා කල උපක්‍රමයන්, පසුකාලීනව ලියැවුණු කෞටිල්‍ය හෙවත් චානක්‍යය නම් කූටඤානයෙන් යුතු බ්‍රාහ්මණයාගේ කෞටිලයගේ අර්ථශාස්ත්‍රය නම් කෘතියෙහිද අන්තර්ගතය. අද දවසේ ක්‍රියාත්මක වන කූට උපායන්ද කෞටිල්‍යයගේ අර්ථ ශාස්ත්‍රයෙන් මිරිකා ගත් ඒවා හැරෙන්ට ලොවට අලුතින් බිහිවූ ඒවා නොවේ. කෞටිලය පෙර රාජාණ්ඩු වල පැවති උපායන් තම ග්‍රන්ථයට ඇතුලත් කිරීමයට උත්සක වුවායැයි සිතිමට හැකිය. අර්ථශාස්ත්‍රය වූ කලී කපටි රාජ්‍යෝපාය ගැබ් වූ කෘතියකි. එසේම කෞටිල්‍යය යනු දැවැන්ත දෘෂ්ටිවාදියෙකි. නන්ද නම් පාලක පුරපුර සමූලඝාතනය කෙරුණේ මොහුගේ කූටෝපාය බලයෙනි. මෙකී කූටෝපායන් බුදුන් දවසත් ඊට ශතවර්ෂ ගනනාවක පෙර සිටත් වර්තමානය වූ අදත් රාජාණ්ඩු වල පැවත ආ ඒවා බව පෙනේ. කෞටිලයගේ අර්ථශාස්ත්‍රයෙන් උපුටාගත් එවන් කූටෝපායන් කීපයක් පහත දැක්වේ.
- චරපුරුෂයන් ගෝත්‍රතුලට වැදි එහි අභ්‍යන්තර ගැටුම් ඇවිලවීමේ හැකියාව ගෙන දෙන ඊර්ෂයාව, ද්වේශය හා වෙනත් දෑ සොයා මනා සැලසුමකින් යුතුව ඔවුන් අතර ගැටුම් ඇති කල හැකි විෂබීජ වපල යුතුය.


- ආචාර්යවරුන් සේ වෙස්වලාගෙන ඔවුන් ගෝත්‍රයේ ප්‍රධානයන් කලකොලාහලවල පැටලිය යුතුය.
- චෛත්‍යයන්ට හා පූජ්‍යස්ථාන වලට ඇතුලු වන දොරටුවල රන්භාන්ඩ හා රත්රන් තබාගෝත්‍රයේ ප්‍රධානීන් තුල ලෝබලිය ලියලවිය යුතුය.
- පිස්සු වට්ටන රූසපුවෙන් හා තාරුණයෙන් යුත් ගණිකාවක් හෝ නර්තන ලියන් පෙන්වා ප්‍රභූන් කාමයෙන් මත්කොට මුලා කල යුතුය.
- ගනිකාවක් විසින් ගෝත්‍ර ප්‍රධානෙයෙකු තමා පැහැර ගැනීමට පොලබවා විනෝද උයනක් අසල තියුණු ආයුදයකින් පහර දී හෝ වස දී හෝ තමා පැහැර ගෙන ගිය එකා මරා දැමිය යුතුය. ඊට පසු “අර අනිකා මගේ ආදරවන්තයා මැරුවා !‍” යැයි කියමින් ඇය කෑගැසිය යුතුය.
- තවුසකු ලෙස වෙස් වලා ගත් චරපුරුෂයෙකු රාත්‍රි කාලයෙහි යට කී ලෙස කාමයෙන් මුසපත් කරන ලද ගෝත්‍රික නායකයෙකුට ස්ත්‍රින් වසඟ කිරීමේ බලය ඇතැයි කියා වස මිශ්‍ර කල ආලේපන දිය යුතුය. එවිට ඔහු මැරී යනු ඇත. එහි යොදවන ලද වෙනත් චරපුරුෂයන් එය තරගකාරී නායකයෙකු කල දෙයකයැයි ප්‍රචාරය කල යුතුය.

- නක්ෂත්‍රයන් හා අන්‍යයන් ලෙස වෙස්වලාගත් ඔත්තුකරුවන් රාජකුමාරයාගේ කේන්ද්‍රයේ ගැබ්වන රාජයෝග හා වෙනත් රාජලක්ෂණ ප්‍රචාරය කලයුතුය. එනයින් ගෝත්‍රයේ අවංක නායකයින් ඒ හෝ මේ රජුගේ පුත්කුමරු යටතට මෙහෙයවිය යුතුය. මෙසේ නම්මවා ගැනෙන නායකයන් වෙත රජු ගවයන්, සේවකයන් හා වෙනත් ද්‍රව්‍ය තෑගි කොට යැවිය යුතුය. මේ අයුරින් ඔවුන් දිනාගත යුතුය.( බුද්ධ චරිතය- මහාචාර්‍ය සුචරිත ගම්ලත්)
ගෝත්‍ර වැනසීමට යෙදිය යුතු මෙවැනි කූටෝපායන් කෞටිලයගේ අර්ථශාස්ත්‍රයේ පිටු ගනනින් පිරී ඇත. මේවා බොහෝමයක් වජ්ජීන් විනාශ කිරිමට අජාසත්හූ යොදාගත් උපායන් වලට සමානය. අජාසත්තගේ ක්‍රියාදාමයන් වලින් පිරුණු එම ඉතිහාස කතාව අපට කියාදෙන පාඩම් රාශියකි. අජාසත්හු ඔහුගේ ප්‍රධාන මහාමාත්‍ය වූ වස්සකාර බමුණා දක්ෂ ලෙස මේ කාර්යට යොමු කළේය.


වජ්ජීන්ට යහපත සලසන පරම්පරා ගණනාවක සිට ඔවුන් රැකගෙන ආ ධර්මතාවයන් ගැන බුදුන් වහන්සේ ප්‍රසංශා මුඛයෙන් දේශනා කළ බව බුද්ධදේශනා වල සඳහන්ය. මේ පිළිබඳව ආනන්ද හිමියන් සමග සාකච්ඡා කළ උන් වහන්සේ වජ්ජීන්ගේ පිරිහිම වලක්වන මෙම ධර්මයන් ඔවුන්ගේ ශක්තියේ උල්පත බවද දේශනා කළහ. මෙම ධර්මයන් සුරකිනතාක් වජ්ජීන් විනාශ කල නොහැකි බව උන්වහන්සේ දේශනා කළහ. එනයින් බලන කල වජ්ජීන්ගේ ප්‍රබල එකමුතුකම සහයෝගීත්වය හා ඒකීයත්වය නොබිඳ ඔවුන් පරාජය කළ නොහැකි බව වස්සකාර බමුණා මෙන්ම අජාසත්හූද අවබෝධ කරගත්හ. මිල්ටරි ආක්‍රමණයකින් වජ්ජීන් පරාජය කළ නොහැකි බව අවබෝධ කරගත් ඔවුහු වජ්ජීන්ට එරෙහිව එක්වරම යුද්ධ නොකිරීමට තීරණය කළේය. යුදබලයෙන් වජ්ජීන් යටපත් කිරීමට හැකියාව තමන්ට නැතැයි අවබෝධකරගත් අජාසත්හූ ඉවසිලිවන්ත වූහ. කල්යල් බැලූහ. සැලසුම් සකස් කළහ. පළමුව වජ්ජීන් අතර භේද වැපරවීමට අණගුණ නැති වස්සකාර බමුණා සරනාගාත වේශයෙන් වජ්ජී දේශය බලා පිටත්කර හැරීය. වස්සකාර බමුණා අජාසතුන්ගේ ආක්‍රමණයට පසුබිම සකසමින් වජ්ජි දේශයේ තුන් වසරක් කල්ගෙවූහ. ඒ තෙවසර අවසානයේදී අජාසත්හු වජ්ජීන්ගේ අගනුවර වූ වේසාලියේ වාඩිලාගත්හ. ඔවුන්ට විරෝධය දැක්වීමට වජ්ජීන්ට හැකියාවක් හෝ වුවමනාවක් තිබූ බවක් නොපෙනුණි. ඒ සඳහා ශක්තියක්ද නොවීය. වස්සකාර බමූණා මනාලෙස තම කාරයය ඉටු කොට තිබුණි. කෙසේ වුවද භගවතීසූත්‍රෙය් පවසන අන්දමටය වජ්ජීන් ඉතා ලෙහෙසියෙන් යටත් කර ගැනීමට අජාසත්හූට හැකි වුයේ නැත. දරුණු සටන් දෙකක් ඇවිලී ගියේය. රථමූසල සටන හා මහාසිලාකාන්ත සටන ලෙස එම සටන් හඳුනවනු ලැබීය. වජ්ජීන්ද අවසන් බිදුව දක්නා සටන් කල බව කියැවේ. මේ සටනේදි අජාසතුන්ට දිව්‍ය සහයෝගය හා ආයුධ ලැබුණු බවට ජෛන මූලාශ්‍ර පවසයි.
කෙසේ වුවද ලිච්ජවීන් පරාජය වූයේ දිව්‍යමය සහයෝගයෙන් නොවන බව තවත් ජෛන කතුවරයෙකුම සඳහන් කරයි. අජාසත්හූ රූමත් ගනිකාවක ඔත්තු සේවාවේ යොදවා තිබුණි. ලිච්ඡවීන් අතර සිටි දුර්වල කුලවාලය නම් තාපසයා ගණිකාවට රැවටී ලිච්ඡවීන් පාවා දුන්නේය. නගරය රැකගැනීමට තමාදුන් දිවුරුම බිඳ වේසාලිය සතුරාට පාවා දීමට වෙසඟන විසින් ඔහු පොළඔවන ලදී. ඔහු තම ජනතාවට ද්‍රෝහී විය. ඒ අතරතුර වස්සකාර බුමුණා පසුකලක කෞටිල්‍ය කියූ අකාරයට වජ්ජීන් විනාශ කිරීමට අවශ්‍ය උපක්‍රම යෙදූවේය. ඔවුනොවුන් කෙටවූවේය. ඔවුනොවුන් කෙරෙහි ඊර්ෂයාව ඇති කළේය. සියල්ලන් එකිනෙකා කෙරෙහි ද්වේශයෙන් බලන්නට වූහ. තම ගෝත්‍රය රැකගැනීමට ඇති අවශ්‍යතාවය නැති විය. අනතුරුව මහල්ලන් දරුවන් ස්ත්‍රීන් ඇතුලු වජ්ජීන් සමූල ඝාතනය විය.

එසේ ඝාතනය කිරීමෙන් අනතුරුව ගෝත්‍රිකයින්ට නැවත නැගී සිටීමට ඉඩ නොදීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගයන්ද ඔහු යෝජනා කරයි

1. මෙම ගෝත්‍රික ජනයාගේ සාමුහිකත්වය කන්ඩායම් හැගීම බිඳ දැමීමෙන් පසුව කිසිවිටෙකත් ඔවුන්ට නැවත එක් ව එකට සාමූහිකව ජීවත් වීමට ඉඩනොදිය යුතුය. එසේ වුවහොත් ඔවුන් නැවත ගෝත්‍රික සහයෝගීතාවයට ආකර්ෂණය වනු ඇත. එසේ වුව හොත් ඔවුන් යලිත් තම අහෝසී වූ නිදහස වෙනුවෙන් සටන් කරනු ඇත.


2. ඒ සඳහා ඔවුන් කුඩා කණ්ඩායම් වලට කඩා හුදකලා ගම් ලෙස වෙන වෙනම පදිංචි කල යුතුය. කිසිවිටෙකත් ඔවුන්ගේ කණ්ඩායම් අතර සම්බන්ධයක් ඇති වීමට ඉඩ නොදිය යුතුය. ඔවුනොවුන් අතර සම්බන්ධයක් ඇති වීමට ඇති සෑම හැකියාවක්ම නැතිකර දැමිය යුතුය.
(බුද්ධචරිතය-මහාචාර්‍ය සුචරිත ගම්ලත්)

වැරදීමකින් හෝ ලිච්ඡවී කතාව නැවත කරලියට පැමිණ තිබීම දෛවෝපගත සිදුවීමකි. ලිච්ඡවීන්ට අදාල සියලු සිදුවීම් පහුගිය කාලයේදීත් අදත් අප රටේදි අපේ ඇස්පනාපිටම සිදුවේ. අජාසත්හූ ඉවසිලිවන්තව බලා සිටිති. ඒ අතරතුර වස්සකාර බමුණා තම කාර්‍යය මැනවින් ඉටු කරයි. එක් වස්සකාර බමුණෙක් නොව මේ කාර්යයේදි වස්සකාර බමුණන් බොහෝ බිහිවූහ. සිංහලයාගේ ජාතිය හා දේශය පිළිබඳ හැගීම දියකර දැමූහ. ඒ වෙනුවට ජාතිය සුරකිනු ලැබූවුන් පිළබඳ ඊර්ෂයාව ද්වේශය හිත් වලට කාවැද්දවීය. ජාතික නායකයින් පිළිබඳව බොරු චෝදනා නගා ඒවාට මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්හ. මෙවර වස්සකාර බමුණාට චරපුරුෂයින් පිටතින් ගෙන එන්නට සිදුවූයේ නැත. ගෝත්‍රයෙන්ම ඕනෑ තරම් චරපුරුෂයෝ සොයා ගන්නට හැකිවිය. විශේෂයෙන් ගෝත්‍රෙය් නමක් දිනා සිටි නායකයින් චරපුරුෂයන් බවට පත්කරන්නට වස්සකාරට වැඩි දවසක් ගත වුනේ නැත. දිර්ඝ කාලයක සිට අප රටට විත් පැළපදියම් වී සිටි වස්සකාර බමුණාට තම ගෝත්‍රයට ගර්හා කරන ගෝත්‍රිකයන් බිහිකර ගැනීම අපහසු නොවීය. ඔවුහු තම ගෝත්‍රය සුරකින උන් මිලේජ්ජයන් ලෙස හැදින්වූහ. ගෝත්‍රය විනාශ කිරිමේ අරමුණින් ගොත්‍රිකයෝම පෙළ ගැසී සිටිති. ගෝත්‍රය විසින් පුදනු ලැබූ පූජ්‍යයන් මෙහිදී ප්‍රමුඛත්වය ගත්තෝය. වස්සකාර බමුණා අති සාර්ථක ලෙස පූජ්‍යයන් යොදාගෙන ගෝත්‍රයට අවලාද නැගීය. අපි ලෝකය එක් යායක් කරමු. පූජ්‍යයෝ තම උපාසක උපාසිකාවන්ට දේශනා කරණු ලැබීය. තම ගෝත්‍රික සම්ප්‍රදායන් ආරක්ෂා කිරිම හෝ ඒ ගැන කතා කිරීම ගෝත්‍රය තුලම වරදක් බවට පත්වන තත්වයක් උදාවි ඇත. කෞටිලයගේ සියලු න්‍යායන් කරලියට පැමිණියේය. සප්ත අපරිහානියධර්ම පිරිහි ගියේය. ගෝත්‍රය සුරකීමට කිසිවෙකුටත් තවදුරටත් අවශ්‍ය නොවේ. මේ අතරතුර වෙසඟනද පැමිණියාය. ඇය විසින් කුලවාලය රවටා ගත්තීය. කුලවාලය ජාතිය පාවා දුන්නේය. වේසාලියේ සියලු බලකොටු ඉවත් කෙරිණ. වේසාලිය වටකොට සියලු ආක්‍රමණිකයෝ පෙළ ගැසී සිටිති. ලිච්ඡවීන්ට තව දුරටත් එය ප්‍රශ්නයක් නොවේ. තම ගෝත්‍රය හෝ තම මුතුන්මිත්තන්ගේ අස්ථි තැන්පත් කළ චෛත්‍යෙයෝ සුරකීම තවදුරටත් අවශ්‍ය නැත.


බොහෝ දේ සිදුවී ඇත. අජාසත්ත තවදුරටත් බලා ඉඳී. ඒ වෙලාව එනතුරුය. වස්සකාර තම කාර්‍යයහි අවසාන කොටසට ලගා වෙමින් සිටි. ඉතිහාසයේ සිටි වස්සකාර පරයා යමින් නූතන වස්සකාර අළුත් පරිච්චේදයක් ආරම්භ කොට ඇත. වජ්ජී රාජ්‍යයේ සියලු ගෝත්‍රිකයන් අතර තිබුණාවූ අන්‍යයෝන්‍ය බැදීම බිඳ දමා ගෝත්‍රික එකමුතුව විනාශ කොට ඇත. උනුඋනුන් කෙරෙහි වෛරයද බෙඳීමද ඇති කර අවසන්ය. ඒ වෙනුවට ලෝකය එක් යායක් කරන්නට ඔවුන් කැඳවාගෙන යන්නට වස්සකාර අලුතින් යෝජනා කර ඇත. ඒ එක්යාය තුල තමන්ගේ අන්‍යතාවය අහිමිව යන බව ගෝත්‍රිකයන්ට නොදැනේ. අජාසත්හූ සීරුවෙනි. වජ්ජි රාජ්‍යයයේ සියලු ගෝත්‍රිකයන් තම අවසාන කාලපරිච්ඡේදය ගත කරමින් සිටි. එහෙත් ඔවුන්ට එය දැනෙනුයේ තමන් අලුත් ලොවක් කරා යන බවකි. සත්‍යය ඇත්තේ ඉදිරියෙනි. ඒ ලිච්ඡවීන්ගේ සමූල ඝාතනයයි. ලිච්ඡවීන්ගේ කතාව කරලියට ආවේ නිකන්ම නොවන බව දැන් පැහැදිලිය.


අවිඥානකව හෝ අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙයවන්නන් විසින්ම ලිච්ඡවි කතාව එක්වරම අපට මතක් කර දුන්නේය. ඒ ලිච්ඡවීන්ට අනතුරු ඇගවීමටද? එසේත් නැත්නම් ඉතිරිය සම්පූර්ණ කිරිමටද?.කෙසේ වුවද තමන් වජ්ජීන් සමූල ඝාතනය කළ බවට අජාසත්හූ උදම් ඇනූවද ඊට අවුරුදු 800 පමණ පසුව ලිච්ඡවීන් නැවත නැගී සිටියහ(ඒ එල් බෂාම්). ඒ තම ගෝත්‍රයේ අතීතයේ බොහෝ ලක්ෂණ ජාන තුලම රඳවා සඟවාගෙන සුරකිනු ලබන හෙයිනි. බුදුන්ගේ මව්පාර්ශවය හා පියපාර්ශවය වූ කෝසලයෝ හා ශාක්‍යයෝ ලෝකයෙන් සදහටම තුරන් කර දැමූවද බුදුන් පිළිබඳ මතකයන් මකා දමන්නට කිසිවෙකුට හැකි වී නැත්තාක් මෙනි.


-චම්පා වෛද්‍යතිලක