පෙබරවාරි 11 දාට එලිවෙන්න තේරෙන කතාව

The Black Stallion කියන්නෙ අජානීය සෛන්ධවයෙක්.
ප්‍රකෝටිපතියන්ට විතරයි ඒ වර්ගයේ සෛන්ධවයෙක් නඩත්තු කරන්න පුලුවන්. මනුස්සයෙකුට වඩා වටිනවා. ලංකාවේ කලු සල්ලිකාරයෙක් Black Stallion සෛන්ධවයෙක් ගෙනාවා.
ගෙනාවා වගේ නෙවෙයි මූව ආරක්ෂා කරගන්න ලොකු වියදමක් දරන්න වෙනව.ඉතිං මේ සල්ලිකාරය තම තෙමහල් මන්දිරයට යාබදව වෙනම සුඛෝපභෝගී අස්ප කුටියක් හැදුව.
ඒ මදි.
මූව බලා කියා ගන්න,අස්ප ගති සොබා හුරු උගත්,රාජකාරි අත්දැකීම් ඇති, විදේශ පොලිස් සේවයෙන් විශ්‍රාමලත් මැදිවියේ නිලධාරියෙක් ඉලක්කම් පහේ පඩියකට බඳව ගත්ත.

ඔහු දවසට පැය විසිහතරක් අස්පය බලාගත යුතු නිසා, තරුපහේ පහසුකම් සහිත ඇනෙක්සියක් අස්ප ගාල ලඟින්ම හදල දුන්න.

රෑ එලිවෙනකං තුන්තිස් පැයම ඇහැ ගහ ගෙන ඉන්න ඕන. රස්සාව භාර ගත්ත මුල්ම දවසෙ රෑ අටට විතර තරුපහේ මුර කුටියට ආපු සල්ලිකාරය දැක්ක ලෝකයේ ඉන්න පොහොසත්ම කුදිරකාරයා ඇස් දල්වා ගෙන සෛන්ධවය දිහා බලාගෙන ඉන්නව.

“මහත්තයො, නිකංම නිදිමරන්න අමාරුයි නොව.පොඩි කල්පනාවක් දාගෙන හිටිය නම් නින්ද දරාගන්න පුලුවන්. මම මහත්තයට දෙන්නං පොඩි අදහසක්.
 හිතන්න මූදුවතුර ලුණුරහ උනේ කවුරු හරි මූදට ලුණු දාලාද .....එහෙම නැත්තං ඉබේම ද? “.

කුදිරකාරයා කීවාට වැඩිම වේතනයක් ලබන මහත්මයෙක් හින්දා පොඩි අඩියක් හේම සප්පායම් වුනා.

රෑ දොලහට විතර අස්පය අයිති ධනකුවේරය මුර මන්දිරයට ආව. කුදිරකාර මහත්තය එක්ක පොඩි කතාවක් දාගෙන ඉඳල ආපහු යන්න ඉස්සෙල්ල කිවුව “ එකම දේ හිත හිත ඉන්න කොට නිදිමත එනව. මම තව අයිඩියා එකක් දෙන්නං..... මහත්තය හිතන්න අහසට තරු ආවෙ කොහොමද .... ඉබේම ද ....නැත්තං කවුරු හරි එල්ලල ද ?

තවත් පැයක් දෙකක් ගෙවුන.
අයිතිකරු ආපහු මුරගේ පැත්තට ආව. “මහත්තය දැං අලුත් දෙයක් කල්පනා කරන්න...හිතන්න මහ පොලව......” කුදිර මහත්තය අතක් උස්සල අයිතිකරු නිහඬ කලා.
කුදිරකාර මහත්තය කියනව “මම කල්පනා කරේ සෛන්ධවය, තමන්ම හිතල ගියා ද? නැත්තං කවුරු හරි ඇවිල්ල එක්කං ගියා ද කියල”.
කතාවේ ආදර්ශය පෙබරවාරි 11 දාට එලිවෙන්න තේරෙයි.

ඩබ්. ජයසිරි ගේ ෆෙස්බුක් පිටුවෙන්