සුදු ජාතිකයන්ට පමණයි

වසර 58 ට පෙර අද වැනි දවසක කළු ජාතික ඇමරිකානු සිසුන් සිව් දෙනෙක් ලෝක ප්‍රකට Greensboro Sit-In මෙහෙයුම ආරම්භ කරනු ලැබීය. සුදු ජාතිකයන්ට පමණක් වෙන්වූ (Whites Only ) ආපන ශාලා කවුන්ටරයක් ඉදිරියේ වාඩි වී සිටීම මේ සාමකාමී විරෝධතාවයේ ස්වරූපයයි. කිසිදු වේටර්වරයෙක් මේ කළු ජාතිකයන් සිව්දෙනාට සේවය සලසන්නේ නැති නමුත් ආපන ශාලාව වසන තෙක් එහිම රැඳී හුන් ඔවුන්ගේ මෙහෙයුමට පසු දින එක්වන කළු ජාතිකයින් සංඛ්‍යාව තුන්සියයකට නො අඩුය. දීප ව්‍යාප්තව පැතිර ගිය මේ අසුන්ගත විරෝධය පුරා පස් මාසයකුත් සති තුනකුත් දින තුනක් අවසන විජයග්‍රාහී ලෙස අවසන් විය. වර්ණභේදවාදී වර්ග කිරීම් ආපනශාලාවලින් ඉවත් කෙරිණ.

sit in
1960 වසර වන විට ග්‍රීන්ස්බරෝ හි Woolworth ආපන ශාලා පරිශ්‍රයෙහි Whites Only ආහාර කවුන්ටරයක් වෙන් කර තිබිණ. 1955 දී රෝසා පාර්ක් තම අසුන සුදු ජාතිකයෙකුට පිරිනැමීම ප්‍රතික්ෂේපකර සිරගත වූ අතර එදා සිට ඇරඹි මොන්ටිගෝමරි බස් වැරුම 1956 දී අවසන් වන්නේ කළු ජාතික ඉල්ලීම් වලට ජය ලබා දෙමිනි. එවන් පසුබිමක වූල්වර්ත් හි සුදු ජාතිකයින්ට පමණක් වෙන් වූ ආහාර කවුන්ටරයක් තිබීමද මතභේදාත්මක කරුණකි. මාර්ටින් ලූතර් කිංගේ සාමකාමී විරෝධතා වලින් ප්‍රබෝධයට පත් North Carolina Agricultural and Technical State University ඉගෙනුම ලබන සිසුන් හතර දෙනෙක් මේ පිළිබඳ තීරණයකට එළැඹේ. David Richmond , Franklin McCain, Ezell Blair සහ Joseph McNeil යන සිසුන්ගේ අරමුණ වන්නේ ආපනශාලාවේ අසුන්ගෙන තමාට හිමිවන සැලකුම සහ ප්‍රතිචාරය කෙරේ උපේක්ෂා සහගතව බලා සිටීමයි. දෙවැනි දිනයේ සිට තම සාමකාමී අරගලයට මාධ්‍ය අවධානය ලැබෙන බව ඔවුන් නියත වශයෙන් දැන සිටියහ.

BHM 779x491
සවස 04.30 ට Woolworth වෙත යන කළු ජාතික සිසුන් සිව්දෙනා එහි වාඩි වේ. කෝපි ඇණවුම් කළද ඔවුන්ට සේවය සැලසීම ප්‍රතික්ෂේප වන අතර "සුදු ජාතිකයින්ට පමණක්' වූ කවුන්ටරයෙන් ඉවත් වන ලෙස කළමණාකරුගෙන අණ ලැබේ. නමුත් ආපනශාලාව වසන තෙක්ම නිහඬව රැඳී සිටින සිසුන් සිව්දෙනා පසු දින ද එහි ළඟා වේ. ඒ වන විට ග්‍රීන්ස්බරෝ විරෝධතාව සැල වී ඔවුන්ගේ සහායට පමිණෙන තවත් කළු ජාතික සිසු සිසුවියන් රැසකි. දිනෙන් දින මේ විරෝධතාව වර්ධනය වූ අතර අනෙක් ප්‍රදේශ වල " සුදු ජාතිකයින්ට පමණක්" වූ කවුන්ටර වල ද මෙවැනි කළු ජාතික විරෝධතාකරුවන් වාඩි වී සිටීම සුලබ දසුනක් බවට පත් විය. මේ සාමකාමී විරෝධතා මාලාව කළු ජාතිකයින්ගේ සිත් ගත් අතර ඉන් සිදු ඌ බලපෑමද අතිමහත් ය. විරෝධතාකරුවන්ට සුදු ජාතිකයින්ගෙන් පීඩා හිරිහැර ද සිදු වූ අවස්ථා එමටය. නමුත් පස් මසක් අවසානයේ තම වර්ණභේදවාදී කවුන්ටරය වසා ගැනීමට Woolworth සමාගම පියවර ගන්නේ දිනෙන් දින පහත බසින අලෙවිය සහ සේදී යන කීර්ති නාමය රැක ගැනීමටය.

27337002 10213889304924000 95076101160446809 n
එක් පසෙකින් විප්ලව සියල්ලෙහිම ජය මාවත ආයුධ වලින් වැසී නොයන බව පෙන්වා දෙන ග්‍රීන්ස්බරෝ විරෝධතාවකි. තවත් පසෙකින් Whites Only යන අත්තුක්කංසනයෙන් සහ ආත්මාර්ථකාමීත්වයෙන් ඔද වැඩි සුදු ජනතාවකි. එහි සමාන මානුෂික අයිතීන් ඉල්ලා වුවද සාමකාමීව විරෝධය පළ කරන කළු ජාතිකයින් ය .
මෙහි අනෙකාට යමක් අහිමිකිරීමට ඇවැසි විට පමණක් සියල්ලන්ටම බාධා කරමින් වීදි බසිනා පරපුරක් ය.
- සහන් කසීර වික්‍රමසිංහ -