ස්‌පාර්ටකස්‌ වහලුන් අතර නිවහල් ගිනි පුපුර

 ඉතිහාසයේ පටන් අද දක්‌වා ලෝකවාසී ජනයා කිසියම් වහලකු ගැන වැඩිපුරම කතා කළේද, ඒ ස්‌පාර්ටකස්‌ ගැනය. ක්‍රි.පූ. පනස්‌ ගණන් හෝ හැට ගණන්වල උපත ලැබූහයි සැලකෙන ඔහු සේවය කර පැන ගොස්‌ සිටියදී අත්අඩංගුවට පත්ව වහලකු ලෙස වෙන්දේසි කරනු ලැබූවෙකි.

ඔහු මිලට ගත් පුද්ගලයා Gladiator වරුන් හෙවත් සටන්කරුවන් පුහුණු කළ පුද්ගලයෙකි. මෙබඳු සටන්කරුවන් දෙදෙනකු අතර හට ගන්නා සටනක්‌ අවසන් වීමට එකකු මියයා යුතුමය.

මේ ආකාරයෙන් ස්‌පාටකස්‌ විසින් වහල් සටන්කරුවන් විශාල පිරිසක්‌ මරා දමන ලදී. රෝමයේ සටන් භූමිවල Gladiator සටන්කරුවන් කඩු, පිහි, හෙල්ල, කටු සහිත යගුලි ගෙන මරා ගන්නා විට එය බැලීමට පැමිණි රෝම ධනපතියෝ අසවල් සටන්කරුවා ජයගන්නේ යෑයි ඔට්‌ටු ඇල්ලූහ.

සමහර විට එක්‌ සටන්කාරයකු මැරෙන්නට පණ අදින විට ඔහු වෙනුවෙන් ඔට්‌ටු ඇල්ලූ ධනපතියෝ සටන් බිමට පැන ඔහුට දරුණු වධ දෙන්නට වූහ.

මෙය මහත් කාලකණනි ජීවිතයක්‌ බව තේරුම්ගත් ස්‌පාටකස්‌ තවත් සටන්කරුවන් කිහිප දෙනකු සමග කි.පූ. 73 දී විසුවියස්‌ ගිනි කන්ද මුදුනට පැන ගියේය. පසුව ඔහුට තවත් වහලුන් දහස්‌ ගණනක්‌ එකතු වූහ. ක්‍රි.පූ. 72 දී ඔහු ඇතුළු වහල් හමුදාව රෝමන් හමුදා දෙකක්‌ පරාජය කර දකුණු ඉතාලිය අත්පත් කර ගත්තේය. තවත් රෝමන් හමුදා තුනක්‌ සංහාරය කළ ඔහු "ගෝල් දේශය" නමැති ප්‍රංශ ප්‍රදේශයක්‌ අල්ලා ගත්තේය.

තමා සමග සිටි සෙසු වහලුන් නිදහස්‌ කර ගෙවල් බලා යෑවීම ඔහුගේ අරමුණ විය. එහෙත් ප්‍රංශය කොල්ලකනු පිණිස මේ වහල්ලු එහිම රැඳුණාහ. ඔවුන්ගෙන් වෙන් වුණ ස්‌පාර්ටකස්‌ නැවතත් දකුණු ඉතාලිය දෙසට ගමන් කළේය. ක්‍රි. පූ. 71 දී මාර්කස්‌ ක්‍රොසස්‌ නමැති රෝමන් සෙනවියා ස්‌පාර්ටකස්‌ ඇතුළු පිරිස ඉතාලියේ රේසියම් අර්ධද්වීපයට කොටුකර ගත්තේය.

ස්‌පාර්ටකස්‌ එතැනින් පැනගත් නමුත් ලුකාතියා නමැති ප්‍රදේශයේදී නැවතත් රෝම හමුදාවට කොටුවී මැරුම් කෑවේය. ඒ සමගම රෝම අධිරාජ්‍යයට එරෙහිව නැගී සිටි වහලුන්ගේ විප්ලවය අවසන් වූ අතර වැරදිකරුවන් වූ වහලුන් සියලු දෙනා කුරුසවල ඇණ ගසනු ලැබීය. පැන ගිය ස්‌වල්ප පිරිස, ස්‌පාඤ්ඤයේ යුද්ධයකට ගොස්‌ ආපසු එමින් සිටි පොම්පේ අධිරාජ්‍යා වෙතින් මැරුම් කෑවේය.

පසුකාලයේදී ස්‌පාර්ටකස්‌ගේ චරිතය අලලා නවකතා, නාට්‍ය, චිත්‍රපට නිෂ්පාදනය විය. අදටත් නිර්ධන පන්තියේ නිවහල් ගිනි පුපුර වූ වහලා ඔහුය. (Funk and wagnalls American. Encyclopedia)
අනුර සොලමන්ස්‌