කිමිදී යළි නො ආ අගමැති

පසුගිය 17දාට ඔහු අතුරුදන් වී වසර පනහකි. නමුත් අදටත් ඔහුට කුමක් සිදුවීද යන්නට පැහැදිලි නැත.

මුහුදේ කිමිදෙන්නට ගොස් අතුරුදන් වූ ඔහුගේ සිරුර සොයා ගැනීමට ලැබුණේ නැත.

ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් ඔහු වෙනුවෙන් රාජ්‍ය මට්ටමේ අවමංගල්‍යයක් පවා පැවැත්වුණද ඔහු ඇත්තටම මිය ගියාද යන්න හෝ මෙතෙක් තහවුරු වී නැත. එලෙස අනතුරුවලට ලක්ව අතුරුදන් වූවන් බොහෝ සිටිය හැකි වුවද ඔහු අතුරුදන් වී වසර පනහකට පසුත් ඔහු ගැන ලෝකයා කතා කරති. ඒ ඔහු එසේ මෙසේ පුද්ගලයකු නොව ලොව ප්‍රබල රටක අගමැතිවරයකු වන බැවිනි. නූතන ඕස්ට්‍රේලියාවේ පළමු අගමැතිවරයා ලෙස සැලකෙන ‘හැරල්ඩ් හෝල්ට්‘ එලෙස අතුරුදන් වන විට අගමැති ධුරයට පත්ව ගෙවී තිබුණේ දෙවසරක් පමණි.

මෙම අතුරුදන්වීම ඕස්ට්‍රේලියානු වැසියන් අතර කෙතරම් කුතුහලයට බඳුන්වූවාද යත් එම සිදුවීමත්, ඒ කේන්ද්‍ර කරගත් උපකල්පනත් ඕස්ට්‍රේලියානු ජනප්‍රවාද හා බද්ධව ඇති සෙයකි. වසර පනහකට පසුව වුවද අගමැති හෝල්ට් ජාත්‍යන්තරය සිහිපත් කරන්නේ ප්‍රගතිගාමී නැඹුරුවකින් යුතු කීර්තිමත් දේශපාලනඥයකු ලෙස නොව අබිරහස් ලෙස අතුරුදන්වූවකු ලෙසයි. ඒ බව අවධාරණය කරන්නේ හෝල්ට්ගේ චරිතාපදාන කතුවරයා වන නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂවර ‘ටොම් ෆ්‍රේම්'ය.

9e55e795c0e8ab65decbe52a26d3bf4f


1966 ඕස්ට්‍රේලියානු අගමැති ධූරයට පත් වීමට පෙර හෝල්ට් එරට වැඩිම කාලයක් රාජ්‍ය කරවූ නායක 'ශ්‍රීමත් රොබට් මෙන්සීස්ගේ' පක්ෂපාති ඇමතිවරයෙකි. අගමැතිධුරයට පත් වන විට පනස් නව වන වියේ පසුවූ හෝල්ට් වයසින් සේම චරිත ලක්ෂණ අතින්ද එහෙම පිටින්ම මෙන්සීස්ගේ ප්‍රතිවිරුද්ධිතයකු විය. මෙන්සීස්ට වඩා බෙහෙවින් ලාබාල වූ හෝල්ට් විලාසිතාවන්ටත්, හැඩට සිටින්නටත් ප්‍රිය කළ, සිය පෙනුම පිළිබඳ බෙහෙවින් සැලකිලිමත් වූ ප්‍රගතිශීලි නායකයෙකි. ඕස්ට්‍රේලියානු ජාතික විශ්‍රාමික විශ්වවිද්‍යාල දේශපාලන කථිකාචාර්යවරයකු වන ‘ජෝන් වෝර්හස්ට්ට‘ අනුව ඔහු ‘ගත නිවන‘ නැවුම් සුළං රැල්ලක් බඳු ය. රාජ්‍ය නායකයකු වුවත් විනෝදකාමී, කෙළිලොල්, ක්‍රියාශීලී සමාජශීලී පුද්ගලයකු වූ හැරල්ඩ් හෝල්ට් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ඕස්ට්‍රේලියානුවෙකි. ජීවිතය ආශ්වාදයක් කොට සැලකූවකි. දක්ෂ පිහිනුම් ශූරයකු නොවුවත් ගැඹුරු මුහුදේ කිමිදීමටත්, හෙල්ලයෙන් ඇන කරදියේ මසුන් මැරීමත් විනෝදාංශය කර ගත්තෙකි. මහ මුහුද ඔහුගේ ජීවිතය හා වෙන්කළ නොහැකි ලෙස බද්ධව තිබිණි. කිමිදුම් ඇඳුමින් සැරසී දියඹේ පිනුම් ගසන, මුහුදු වෙරළේ විනෝද වන අගමැතිවරයාගේ ඡායාරූප එකල ඕස්ට්‍රේලියානු මාධ්‍යවල සුලබ දසුනක් විය.

නමුත් කිසි විටෙක හෝල්ට් සිය විනෝදකාමී පෞද්ගලික ජීවිතය හා දේශපාලනය පටලවා ගත්තේ නැත. අගමැති ධූර කාලය වසර දෙකක් පමණක් වුවද, එම කෙටි කාල සීමාවේදී ඔහු සැලකිය යුතු විජයග්‍රහණ පෙළක් කරා රට මෙහෙය වූවේය. ඉන් අංක එකේ ප්‍රතිසංස්කරණයක් වන්නේ එතෙක් ඕස්ට්‍රේලියාවේ භාවිතා වූ පවුම් හා පැන්සවලින් සමන්විත සංකීර්ණ මුදල් පද්ධතිය වඩාත් ප්‍රායෝගික ඩොලර් හා ශත බවට පරිවර්තනය කිරීමයි.

ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ද ඕස්ට්‍රේලියානු ජනගහණයට ඇතුළත් කොට ගණන් බැලිය යුතු බවට සම්මතවූ නීතියට මුල් වූයේ ද අගමැති හෝල්ට් ය. ඊට මඟ හෙළි කළ 1967 ඓතිහාසික ජනමත විමසුම අගමැති හෝල්ට්ගේ ධූර කාලයට සුවිශේෂී වැදගත්කමක් එක් කළ සංධිස්ථානයක් ලෙස සැලකේ. හෝල්ට් යනු කළු සුදු වර්ගවාදය ද පිළිකෙව් කළ අයෙකි. ආසියානු ජාතිකයින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට එරෙහිව එතෙක් කලක් ඕස්ට්‍රේලියාවේ තදින්ම ක්‍රියාත්මක වූ ‘සුදු ජාතික (ඕස්ට්‍රේලියාවක්) ප්‍රතිපත්තිය‘ පිටුදැකීමට පුරෝගාමී මෙහෙවරක් සිදු වූයේ හෝල්ට් අතිනි. ආසියානුවන්ට ඕස්ට්‍රේලියාව තහනම් කලාපයක් කිරීමට කිසිඳු හේතුවක් නැති බව දැඩිව අවධාරණය කළ හෝල්ට් ට එරෙහිව තර්ක කිරීමට සමත් කිසිවකු එකල සිටියේ නැත. ඕස්ට්‍රේලියාව ආසියාවේම කොටසක් වීමට අකමැති බවට ආසියානු කලාපයේ මුල් බැසගෙන තිබූ ආකල්ප ඔහු සුණු විසුණු කර දැමුවේය. ඒ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තරයේ ඉදිරියට ගමන් කරනු දැකීමේ පරම චේතනාවෙනි. ආසියාව පමණක් නොව ඇමරිකාවද හෝල්ට්ගේ රාජ්‍ය තාන්ත්‍රික සුහදතා මෙහෙයුමේ අංක එකේ කැමැත්ත හිමි වූ රටක් විය.

41828526 401


වියට්නාම යුද්ධය දරුණුවටම පැවති එම අවධියේ දී ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් සෘජුවම විවේචන එල්ල වූයේ ඇමරිකානු ජනපති ‘ලින්ඩන් බී. ජොන්සන්ටය‘ ඒ සිත්පිත් නොමැති ලෙස වියට්නාමයේ යුද්ධයක් අරඹා ඇමරිකානු සෙබළු සමූහ වශයෙන් බිල්ලට දීමට තරම් ඔහු කුරිරු වීම නිසයි. එවන් අවධියක දී ඇමරිකාවට සිය මිත්‍රත්වයේ දෑත් දිගු කළ හෝල්ට්, තමා ‘ජනපති ලින්ඩන් සමඟම සිටින බව‘ ප්‍රකාශ කිරීමට තරම් එම මිත්‍රත්වය ශක්තිමත් විය. ඇමරිකාව ද ආසියාවේම කොටසක් වනු දැකීම හෝල්ට්ගේ අභිප්‍රාය විය.


හෝල්ට් අතුරුදන් වූ ඉරිදාව, කිමිදුම්කරුවකුටම ඔබින උණුසුම්, වියළි කාලගුණයෙන් යුතු දිනයක් විය. 1967 දෙසැම්බර් 17දා හෝල්ට් වික්ටෝරියානු වෙරළ තීරයේ ‘පෝට්සී‘හි පිහිටි සිය නිවාඩු නිකේතනයේ සති අන්තය ගත කරමින් සිටියේ මිතුරන් කිහිප දෙනකු සමඟය. ඊට දෙදිනකට පෙර උරහිසේ සිදු වූ ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට ලක්ව සිටි හෝල්ට්ගේ සෞඛ්‍ය තත්ත්වය ද එතරම් යහපත් වූයේ නැත. ඔහුට ගතට අපහසුවක් දැනුණා විය හැක. නමුත් ක්‍රියාශීලීත්වයෙන් පිරිපුන් අගමැතිවරයා එවැන්නක් තමා වෙතින් පළ වීමට ඉඩ දුන්නේ ද නැත. වෛද්‍ය උපදෙස් පරිදි විවේක ගැනීමට ඔහුගේ ක්‍රියාශීලී පෞරුෂය ඔහුට ඉඩ දුන්නේ නැත. සැත්කමට පසු දිනයේම වෛද්‍ය උපදෙස්වලට පිටුපා ටෙනිස් ක්‍රීඩාවේ නියැලුණු හෝල්ට් ඊට පසුදින එනම්,17දා මුහුදේ කිමිදෙන්නට ගියේය. වික්ටෝරියානු වෙරළ තීරයේ සිටියවුන්ට අනුව එදින මුහුද බෙහෙවින් රළු වූ ද, වඩදිය තත්ත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගිය දිනයක්ද විය. දිවා ආහාරයට පෙර කාගේත් විරෝධය මැද දියඹට පිහිනා යාමට ප්‍රථම හෝල්ට් ඔවුන් අස්වසා තිබුණේ “එම වෙරළ තම පිටි අල්ලටත් වඩා හොඳින් දන්නා බව“ කියමිනි. එය ඔහුගේ අවසන් ප්‍රකාශයයි. ඒ, දළ රළ පෙළ නොතකා ඈතට පිහිනූ හෝල්ට් ඔහු එතරම් හොඳින් දැන සිටි වික්ටෝරියා වෙරළට යළි පැමිණීමට වරම් ලැබුණේ නැති නිසාය.

3d6e533369cc90af31160f12012c9b25


ආධුනික රහස් පරීක්ෂකයින්, පොලිස් භටයින් හා ඕස්ට්‍රේලියානු හමුදාවෙන්ද සැදුම් ලත් තුන්සියයක පිරිසක් නැති වූ අගමැතිවරයා සොයා දියඹ පීරුවහ. හෝල්ට්ගේ සිරුර හෝ ඔහුට අත් වූ ඉරණම හෝ හඟවන කිසිම සාධකයක් අනාවරණය කර ගැනීමට අසමත් වූහ. 1968 ජනවාරි 05දා වන විට අගමැතිවරයා සොයා කළ සාගර ගවේශන අත්සිට වූයේ අතුරුදන්වීම කේන්ද්‍රකරගත් අමනෝඥ පදනම් විරහිත කර්ක විතර්ක සමුදායක් නිර්මාණය කරමිනි. අගමැතිවරයාගේ අතුරුදන් වීම දියේ ගිලී සිදු වූ ස්වභාවික මරණයක් බව පිළිගැනීමට මහජනතාව තුළ වූ අකමැත්ත මීට ප්‍රධානම හේතුව විය. අගමැතිවරයකු වැනි ජ්‍යෙෂ්ඨයකු එලෙස නිකන්ම දියේ ගිලෙන්නට නොහැකි බව ඇදහූ පිරිස් එම අතුරුදන්වීමට නානාවිධ අර්ථකථන ලබා දුන්හ.

ඕස්ට්‍රේලියානු මාධ්‍යවල තර්කය වූයේ විවාහ දිවියේ හැලහැප්පීම් හා අගමැති ධුරයේ වගකීම් දරාගත නොහැකිව හෝල්ට් සියදිවි නසාගත් බවය. නමුත් එය පදනම් විරහිත තර්කයක් බව පොලිස් විමර්ශනවලින් තහවුරු විය. අනෙක් මත බොහෝමයක් මෙම අතුරුදන් වීම ජාත්‍යන්තරයේ අනු දැනුම ඇතිව සිදූ වූවක් බවට ඉදිරිපත් වූ තර්ක ය. අගමැතිවරයා රුසියානු හෝ චීන මෙහෙයුමක් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය බව එබඳු එක් මතයකි. බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියකු වූ ‘ඇන්තනි ග්‍රේ‘ අගමැතිවරයාගේ අතුරුදන් වීම අළලා පොතක් පවා රචනා කළේය. 'අගමැති ඔත්තුකරුවෙක්‘ යන ශීර්ෂයෙන් පළ වූ මින් හෙළිදරව් කළේ හෝල්ට් ඇත්ත වශයෙන්ම චීන රජයේ ඔත්තුකරුවකු බවයි. ඕස්ට්‍රේලියාවේ සිදුකළ මෙහෙයුම අවසානයේදී චීන සබ්මැරීනයක් මඟින් ඔහු හොර රහසේ රටින් පිටමං කළ බව කියැවුණු මෙම පොත එකල ඕස්ට්‍රේලියාවේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. නමුත් මේ කිසිඳු තර්කයක් සාක්ෂි මත පදනම්ව ඉදිරිපත් වූ ඒවා නොවීය.


අගමැති හෝල්ට්ගේ අතුරුදන්වීම ඕස්ට්‍රේලියානු දේශපාලනයේද සුවිශාල පෙරළියක් සිදු කළේය. එතෙක් කලක් රටේ පාලනය ගෙන ගිය ලිබරල් පක්ෂයේ ස්ථාවරත්වය බිඳ දැමීමට තරම් එම මරණය ප්‍රබල විය. අවසානයේ දී ලිබරල් පක්ෂයේ විසිතුන් වසරක පාලනය නිම කරමින් 1972දි ලේබර් පක්ෂය ඕස්ට්‍රේලියාවේ පාලනය සියතට ගත්තේය. එවන් පෙරළියක් සිදු කළ අගමැති හැරල්ඩ් හෝල්ට් තවමත් ඕස්ට්‍රේලියාවේ මතු නොව සමස්ත ජාත්‍යන්තරයේම මතකයේ නිධන්ගතව සිටින්නේ ඔහුගේ අබිරහස් අතුරුදන්වීම නිසා වීම කනගාටුවට කරුණකි.


රුක්ලන්ති පෙරේරා