'සාමාන්‍ය ජනතාවට නීතිය අතට ගැනීමට ඉඩ දෙන්න එපා'

රටේ සාමාන්‍ය ජනතාවට නීතිය අතට ගැනීමට ඉඩ නොතැබීම රජයේ වගකීමක් බව විපක්ෂනායක හා  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.
අම්පාර හා මහනුවර ප්‍රදේශවල සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් යාපනයේ දෙමළ මාධ්‍යයට අදහස් දක්වමින්  ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ යම් ප්‍රශ්නයකට සුළු ජාතීන් මැදිහත් වී සිටින විට ජනතාවට නීතිය අතට ගැනීමට රජය ඉඩ සැලැස්වීමෙන් වැළකී සිටිය යුතු බවයි.
එසේ වූ විට රජය යම් කිසි එක් පාර්ශ්වයකට වැඩියෙන් සලකන බවක් පෙනී යන බව පෙන්වා දෙන සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙය ඇති නොවිය යුතු තත්ත්වයක් බවද කියා සිටියේය.
මේ රටේ මුස්ලිම් ජනතාව ක්‍රියා කල අන්දම සියයට සියයකින් නිවැරදි බව තමා කිසි විටකත් ප්‍රකාශ නොකරණ බව කියා සිටින  දෙමළ ජාතික සන්ධානයේ නායකයා රටේ පුරවැසියන් වශයෙන් පවත්නා නීතියට ගරු කළ යුතුව ඇතැයිද කියා සිටියේය.
මුස්ලිම්,දෙමළ හෝ සිංහල පිරිසකට යම් අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ සඳහා ගත හැකි පියවර මිනී මරාගන්නා අන්දමට නොව සාමකාමී අන්දමකට සිදුවිය යුතුව ඇතැයිද පැවසීය.
දෙමළ ජනතාවට සිදුවන අසාධාරණ සම්බන්ධයෙන් දෙමළ සාමාන්‍ය ජනතාව  කටයුතු කිරීමේදී  දෙමළ ජාතික සන්ධානය  පක්ෂයක් වශයෙන් නිරන්තරයෙන් පෙනී සිටිමින් එම ජනතාව මෙහෙයවනු ලබන්නේ ඉතා විනාශකාරී සිදුවීම් සිදුවීම වළක්වා ගැනීමට යැයිද සම්බන්ධන් මන්ත්‍රීවරයා යාපනයේ ජනමාධ්‍යයට පවසා තිබේ.