තෙල්දෙණියේ නොසන්සුන්තාවක්: STF ආරක්ෂාව

පුද්ගලික ආරවුලක් මත හටගත් ගැටුමකින් පුද්ගලයකු මිය යාමේ සිද්ධියකට ජාතිවාදී මුහුණුවරක් දීමේ උත්සාහයක් හේතුවෙන් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙන බව පොලිසිය පවසයි.

රථවාහන සම්බන්ධ ගැටලුවක් මුල්කොට ගනිමින් පසුගිය සතියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ පුද්ගලයෙකු මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී සෙනසුරාදා (මාර්තු 03) මිය යාමත් සමග ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් හටගත්තේය.

අදාළ පුද්ගලයා ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකරන තරුණයක් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ බන්ධනාගාර ගත කර තිබේ.
කෙසේ වෙතත් මෙම සිද්ධියට ජාතිවාදී මුහුණුවරක් ලබාදීමට ඇතැම් පිරිස් ගත් උත්සාහයෙන් හේතුවෙන් ඉරිදා (මාර්තු 04) දිනයේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබෙන බව මහනුවර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම නොසන්සුතාවය හේතුවෙන් වෙළඳසල් කිහිපයකට පහරදීමේ සිදුවීම් වාර්තා වී තිබෙන අතර, ප්‍රදේශවාසියෙක්  පැවසුවේ එක් වෙළඳසලක් සම්පූර්ණයෙන්ම ගිනිබත් වී තිබෙන බවය.

එම පහරදීම්වලට සම්බන්ධ යයි සැකකරෙන පුද්ගලයන් 24 දෙනෙකු පොලීසිය ඉරිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පහරදීමෙන් මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සඳුදා සිදුකිරීමට නියමිත අතර තෙල්දෙණිය නගරයේ කඩසාප්පු සියල්ලම පාහේ වසා දමා තිබෙන බව ද ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති.

ප්‍රදේශයේ ආගමික ස්ථානවලට ද විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙන බවත් වාර්තා වේ.

BBC