වසර ගණනාවක් තිස්සේ ලී කැටයම් කලාවෙන් දස්කම් විස්කම් පෙන්නුම් කරමින් රටට දැයට විශාල මෙහෙයක් ඉටුකළ ජනාධිපති හා කලාභූෂණ සම්මානලාභී කලාකරුවෙක් තම ජීවිතයේ සැදෑසමය සතුටින් හා රෝග පීඩාවන්ගෙන් තොරව ගත කිරීම සඳහා තමා සතු සියලුම ලී කැටයම් හා සම්මාන රජයට ලබාගෙන යම් සාධාරණ දීමනාවක් ලබාදෙන්නැයි රජයෙන් කාරුණික ඉල්ලීමක් කරයි.
මේ ඉල්ලීම කරනුයේ දිවයිනේ සුප්‍රසිද්ධ ලී කැටයම් කලාකරුවකු වන වෙන්නප්පුව කිරිමැටියාන ලුණුවිල ආයුර්වේද මාවත ලිපිනයේ පදිංචි එම්. ඉසිදෝර් මෙන්දිස් මහතායි.
මාධ්‍යට අදහස් දක්වමින් මෙන්දිස් මහතා මෙසේ කීය. "කලාව වෙනුවෙන් මම මට කළ හැකි සෑමදේම කළා. තරුණ පිරිස් සුමඟට ගැන්මට උත්සුක වුණා. මා කතෝලික බැතිමතකු වුවත් කිරිමැටියාන ගමේ බෞද්ධ ජනතාව හා එක්ව නොමඟට යන තරුණ පිරිස් සුමඟට යොමුකරවීමේ භාරධූර කාර්යයට අතදෙමින් කලාව රජකරවීමට වෙහෙසුණා. ලී කැටයම් කලාවෙන් ජනාධිපති හා කලාභූෂණ සම්මාන ඇතුළු සම්මාන රැසක් හිමිකරගනිමින් ජනාදරයට පාත්රවුවත් මගේ ජීවිතයේ සැදෑසමය හා අවසන් භාගය ගෙවන්නේ කඳුළුපිරි දෙනෙතින් වීම ඉතා ඛේදජනකයි.
මගේ ඒ සම්මාන හා ලී කැටයම් දෙස බලා සිටීම හැර මට වෙනත් ආදායම් මාර්ගයක් නැහැ. සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් මට මසකට රුපියල් 800ක පමණ මුදලක් ලැබෙනවා. මසකට රුපියල් 8000ක් පමණ මගෙත් මගේ බිරියගේත් බේත්හේත් හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැයවෙනවා. මම අද හෘද රෝගියෙක්. මෙම මුදල හෝ රජයෙන් ලබාදීම ගැන මම රජයට පින්දෙනවා.
කෙසේ වෙතත් මම රජයෙන් එක් කාරුණික ඉල්ලීමක් කරනවා. එය කරන්නේ වෙනත් කරන්න කියන්න දෙයක් නැතිකම නිසයි. ඒ ඉල්ලීම නම් මගේ මේ සියලුම සම්මාන, ලී කැටයම් සියල්ල සංස්කෘතික දෙපාර්තමේන්තුව හෝ රජය ලබාගෙන ඒවා සුරක්ෂිත කර මටත් මගේ ආදරණීය බිරියටත් මියයනතෙක් සතුටින් ජීවත්වීමට හා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සාධාණ දීමනාවක් ලබාදෙන ලෙසයි.
මගේ ලී කැටයම්වල වටිනාකම මට මුදලින් තක්සේරු කළ නොහැකි තරම්. නිවෙස පුරා ඒවා පුරවාගෙන තවත් ඒ දෙස බලා සිටීම තවදුරටත් කළ නොහැකියි. මේ ලී කැටයම් සුරක්ෂිතව තබාගැනීමටවත් මට හැකියාවක් නැහැ.
ලුණුවිල - රෝස් කොලින් -මව්බිම