බැසිල්ගේ GI බට නඩුව ජුනියට කල් යයි

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3.5කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජුනි 04වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25) නියෝග කර තිබේ.

විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛණ ආදිය පැමිණිල්ල විසින් ලබා දීමෙන් පසුව විනිසුරුවරයා නඩුව විභාග කිරීම සඳහා මෙලෙස දින නියම කර ඇත. අදාළ ලේඛණවල අඩුපාඩුවක් ඇත්නම් ලබන මස 23 වැනිදාට පෙර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළ විනිසුරුවරයා නඩුව ලබන මස 23 වැනි දා කැඳවීමටද නියම කර ඇත.
2014 ඔක්තොම්බර් 31 වැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප‍්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78 ක් වටිනා ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් 36,509,127.78 ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.