මාධ්‍යවල මඩ ප්‍රචාර දියත් කිරීමට සැලසුම් කර ඇතැයි මෛත්‍රී කියයි

තමාට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එක්ව ප්‍රචාරණ ආයතනයකට බාරදී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ(23දා)  පැවසීය.

තමාට විරුද්ධව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි බැවින් පෞද්ගලික ජීවිතය අලලා මඩ ගැසීම මෙම පිරිසේ සැලසුම වී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඉකුත් දිනකදී මෙම පිරිස එක්ව සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත්,එම සාකච්ඡාවට සම්බන්ධ වූ අයෙකු තමන්ට සියලු විස්තර ලබාදුන් බවත් ජනාධිපතිවරයා කීවේය.
 ඒ අනුව ඉදිරියේදී වෙබ් අඩවි ඇතුළු අනෙකුත් මාධ්‍යවල මඩ ප්‍රචාර දියත් කිරීමට මෙම පිරිස සැලසුම් කර තිබෙන බවත්, තමාට මඩ ගසමින්  කුමක් ප්‍රචාරය කළද තමන් ඒ කිසිවකට බිය නොමැති බවත් සිරිසේන මහතා අවධාරණය කළේය.

පසුගිය ජනාධීපතිවරණයේදීද තමන්ට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කළ බවත්, එවැනි බාල උපක්‍රම මගින්  තමන්ගේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි වූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.