අත්අඩංගුවට ගෙන සිටින හිටපු නාවික හමුදා ප්රකාශක කොමදෝරු ඩි.කේ.පී දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරින් 6 දෙනා මේ මස 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, සැකකරුවන් කොළඹ - කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2008 වසරේදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වනවා.
නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්රාත්වරිය කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ලූතිනන් කමාන්ඩර් චන්දන හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගන්නා ලෙස නැවතත් විවෘත වරෙන්තුවක් නිකුත් කරන බවයි.
එමෙන්ම, මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු වන යුද හමුදා බුද්ධි අංශයේ සේවය කළ ඞී.එම්.විජේකාන්තන් නැමැත්තා විනිසුරුවරියගේ නිල මැදිරියේදී අද රහස් ප්රකාශයක් ලබාදී ඇති අතර ඒ, මීට පෙර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.