'මාව විවේක ගැන්වූ හේතුව දන්නේ නැහැ' -මාලිංග

ජාතික කණ්‌ඩායමෙන් තමාව විවේක ගැන්වීමට හේතුව තමාවත් නොදන්නා බව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

පාකිස්‌තාන සහ ඉන්දියා තරගාවලියේ මෙන්ම එළැඹෙන බංග්ලාදේශ සංචාරයේදීත් ලසිත් මාලිංගට කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි විය.

ලසිත් මාලිංග ඉන්දියානු සංචාරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ ඔහුට විවේකයක්‌ ලබාදීම මූලික කරගෙන කණ්‌ඩායමෙන් ඉවත් කළ බවයි. නමුත් මාලිංගට අදාළ විවේක සම්බන්ධව ප්‍රහේලිකාවක්‌ පැන නැඟී තිබේ.

 'තේරීම් කමිටුව මාව තෝරා ගත්තොත් මම සූදානම් තරග කරන්න. නමුත් විවේක ගැන්වූ හේතුව මොකක්‌ද කියලා මමවත් තවම දන්නේ නැහැ. අවුරුදු 25-26 ක ක්‍රීඩකයෙක්‌ විවේක ගන්වන්නේ ඔවුන්ට තරග ගොඩක්‌ තියෙන නිසා විය හැකියි. නමුත් මගේ වයසේ ක්‍රීඩකයෙක්‌ විවේක ගැන්වීමට අවශ්‍යතාවක්‌ නැහැ. මොකද මා දන්න දේ නිවාඩු යෑවීමෙන් ගන්න බැහැ' යෑයි මාලිංග පවසයි.

 චන්දික හතුරුසිංහ පුහුණුකරු ධුරයට පත්වීමෙන් පසු කළ පළමු පුහුණු සැසියටද ලසිත් මාලිංග සහභාගි විය. සංචිතයේ නොසිටියත් ඔහු ස්‌වකැමැත්තෙන් පුහුණු දැල තුළ පන්දු යෑවීම හතුරුසිංහද අගය කළේය.

 'ජාතික කණ්‌ඩායම පුහුණුවීම් කරන පුහුණු දැල තුළ පන්දු යවන්නෙක්‌ අවශ්‍යයි. ඒ නිසා මම ඇවිත් දැල තුළ පන්දු යෑව්වා. කොහොම වුණත් තව වසර දෙක තුනක්‌ තමයි අපිට ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ නිසා මෙහෙම විවේක දුන්නොත් ක්‍රීඩා කරන්න වෙන්නේ නැහැ' යෑයි මාලිංග පවසයි.

 "මම ආබාධයෙන් පස්‌සෙ සහභාගි වුණු එක්‌දින තරග 13 කදී ගත්තෙ කඩුලු 10 ක්‌ විතරයි. මම ක්‍රීඩා කරපු අවුරුදු 14 අඩුම කඩුලු සංඛ්‍යාවක්‌ ගත්ත කාලය තමයි මේ. නමුත් මම අවසන් වරට ක්‍රීඩා කරපු තරග 13 දී උඩපන්දු 12 ක්‌ අතහැරියා."

 තමාගේ දක්‍ෂතා සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකු සමග කතා කිරීමට මාලිංග සූදානම් බව පවසන මාලිංග ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව සිටියත් ක්‍රිකට්‌ නොනවත්වන බවත් පන්දු යෑවීම සහ පිතිකරණ පුහුණුව දිගටම කරගෙන යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි. ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිවූ මාලිංග 'ක්‍රිකට්‌ ඉන්ෆෝ' සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මෙම අදහස්‌ ප්‍රකාශ කර තිබේ.