පාතාල ක්රියාකාරිකයන් හා නමගිය අපරාධකරුවන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව ඇති හෙයින් පළාත් පාලන ඡන්දය පැවැත්වෙන ස්ථානයේදීම ඡන්ද ගණන් කිරීමට යෑමේදී බාධා එල්ල විය හැකි අවදානමක් තිබෙන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
මෙවර ඡන්දය කොට්ඨාස මට්ටමින් පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වන්නේද වඩා සුදුසු පුද්ගලයා තම ගම නියෝජනය සඳහා පත්කර ගැනීම වුවත් දේශපාලන පක්ෂ විසින් දූෂිත වංචනික පුද්ගලයන් අපේක්ෂකයන් ලෙස පත් කරනු ලැබීමේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අෑත් වීමේ අවදානමක්ද පවතින බවද කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
පළාත් පාලනයෙන් තේරී පත්වන මහජන නියෝජිතයකුට ඉක්බිති පළාත් සභාවටත් පාර්ලිමේන්තුවටත් පත්වී දේශපාලනයෙන් ඉදිරියට යෑමේ අවස්ථාව සැලසෙන බවද එම නිසා අන් ඡන්දවලට වඩා මේ ඡන්දයේදී ජනතා නියෝජිතයකු බවට පත්වීම සඳහා සුදුසු පුද්ගලයන්ට පමණක් අපේක්ෂකත්වය ලබාදීමේ අවශ්‍යතාව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
අක්කරෙයිපත්තුව මහ නගර සභාවට ජාතික කොංග්‍රසයෙන් තරග වදින අපේක්ෂකයකු කෝටි ගණනක මත්පෙති සමඟ අම්පාර පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟ සුදුසු අපේක්ෂකයන් පත්කිරීමේ අවශ්‍යතාව උදාහරණ සහිතව අවධාරණය කරන බව කැෆේ සංවිධානය කියයි. මෙවැනි නීති විරෝධී ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් හා දූෂිතයන්ට මේ ඡන්ද විමසීමේදී අවස්ථාව ලබාදීම මඟින් අනාගතයේදී බරපතළ ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව එම සංවිධානයේ අදහස වී තිබේ.