විජේවීර ඝාතනය කරන්න අණදුන්නේ කවුද?’ කියලා. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ.
බියගුල්ලෝ; නිවටයෝ. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න දේශපාලන නායකයෙක් හරි හමුදා නායකයෙක් හරි පොලිසියේ නායකයෙක් හරි නැහැ.
ඇයි ඒ? තාමත් ඒ අරගලය ඉවර නැහැ. ඒ අරගලය ඉදිරියට ගමන් කරනවා. ජයග්‍රාහීව ඉදිරියට ගමන් කරන සටනක් නිසා තමයි අයිතිකාරයෝ ඉදිරිපත් වෙන්නේ නැත්තේ. අදත් සටන ජීවමානයි.” බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත පවසයි.
එම පක්ෂයේ නායක රෝහණ විජේවීර සහ තවත් මියගිය පක්ෂ සාමාජිකයන් 60,000කට ආසන්න ප්‍රමාණයක් සැමරීම සඳහා ඊයේ (13) විහාරමහ දේවී එලිමහන් රංග පීඨයේ පැවති ඉල් මහ විරු සමරුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදි අදහස් දැක්වූ ලාල් කාන්ත,
“අපි කාටත් 1989 නොවැම්බර් 13දා අමතක නොවන දිනයක්. අපේ පක්ෂයේ නායක ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා එදා මැරුවා. තවත් ගොඩක් අය එදා මරා දැමුණා. ඊට කලිනුත් අප් පක්ෂයේ බොහෝ දෙනෙක් මරා දැම්මා. ඊට පස්සෙත් තව විශාල පිරිසක් එවකට පාලකයින්ගේ අණ දීමෙන් ඝාතනයට ලක්කළා. මුළු සංඛ්‍යාව හැටදාහක් කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒ හැටදාහක් වෙච්ච අපේ ආදරණීය සහෝදර සහෝදරියන් සමරන දිනය තමයි නොවැම්බර් 13වෙනිදා. දැන් අවුරුදු 28ක් ගතව තිබෙනවා.”
“කර්නල් ජානක පෙරේරා උතුරු මැද පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුන බව හැමෝම දන්නවා. අපේ පක්ෂය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රිකකයේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූයේ මම. එක්තරා වෙලාවක එයාගෙන් ටෙලිෆෝන් කෝල් එකක් ආවා, මාව හම්වෙන්න ඕන කියලා. අපි එක්තරා තැනකදී හමුවුනා. මිය ගිය කෙනෙක් කියපු දේවල් එච්චර කියන්න හොඳ නැහැ. මොකද ඒවට උත්තර දෙන්න එයා නැති නිසා. නමුත් ඔහු කියපු දේවල් අතර එක දෙයක් කිව යුතුයි. ‘මම මේ ඝාතනයට සම්බන්ධ නැහැ. මම කළේ අත්අඩංගුවට ගන්න එක. අත්අඩංගුවට අරගෙන මම භාර දුන්නා.’ කියලා කිවුවා. මේ කාරණයෙන් නිදහස් වෙන්න ඔහුට උවමනාවක් තිබුණා. ඔහුගේ හමුදා නායකයින් ඔහුගේ දේශපාලන නායකයින් පාවා දුන්නේ නැහැ. ඝාතනය කළේ කවුද කියලා කිවුවේ නැහැ.”
“ඒ කතාව මම මතක් කළේ විශේෂයෙන් මෑතකාලයේ අවසන් කළ එල්ටීටීඊ ත්‍රස්තවාදී ව්‍යාපාරය මර්දනය කළාට පස්සේ ඒකේ අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. මහින්ද රාජපක්ෂ කියනවා මමයි නායකත්වය දුන්නේ කියලා. ගෝඨාභය රාජපක්ෂ කියනවා එයා කියලා. සරත් ෆොන්සේකා කියනවා එයා තමයි කියලා. ඊට අමතරව තවත් පොත් ලියන අයත් ඉන්නවා. 87, 88, 89 කාලයේ හැටදාහක් වෙච්ච අපේ ආදරණීය සගයන් ඝාතනය කළාට අද වෙනකල් අයිතිකාරයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ජාතික පුවත්පතක ශීර්ෂ පාඨයක් තියෙනවා දැක්කා ‘විජේවීර ඝාතනය කරන්න අණදුන්නේ කවුද?’ කියලා. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. බියගුල්ලෝ; නිවටයෝ. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න දේශපාලන නායකයෙක් හරි හමුදා නායකයෙක් හරි පොලිසියේ නායකයෙක් හරි නැහැ. ඇයි ඒ? තාමත් ඒ අරගලය ඉවර නැහැ. ඒ අරගලය ඉදිරියට ගමන් කරනවා. ජයග්‍රාහීව ඉදිරියට ගමන් කරන සටනක් නිසා තමයි අයිතිකාරයෝ ඉදිරිපත් වෙන්නේ නැත්තේ. අදත් සටන ජීවමානයි.”
“එදා ඒ මිය ගිය සහෝදර සහෝදරියෝ හැමදෙනාටම අරමුණක් තිබුණා. ඒ අරමුණ සමාජවාදය. ඒ වගේම හැමෝටම ඉලක්කයක් තිබුණා. ඒ ඉලක්කය රාජ්‍ය බලය. සමාජවාදී අරමුණ ඉටුකර ගැනීමට රාජ්‍ය බලය ලබාගැනීමේ ඉලක්කය තිබුණා. ඝාතනය කළ රෝහණ විජේවීර සහෝදරයාගේ පක්ෂය අදත් ජීවමානව සමාජවාදය ගොඩනැගීමේ අරමුණෙන්, රාජ්‍ය බලය ලබාගැනීමේ ඉලක්කය කරා ළඟාවෙමින් තිබෙනවා. ඒ ඉලක්කය සපුරා ගැනීම වැඩි ඈතක නෙවෙයි. අයිතිකාරයෙක් ඉදිරිපත් වෙන්නේ නැතිව හැංගෙන හැමෝටම අපි කියන්න සූදානම් ඒ කිසිම කෙනෙක් එක්ක අපේ පෞද්ගලික අමනාපයක් නැති බව. හෙට දවසේ ලාංකේය වැඩ කරන ජනතාව, ප්රගතිශීලි ජනතාව, බුද්ධිමත් ජනතාව, මේ භූමිය මත සමාජවාදී ධජය එසවූ දිනකත් අපිට ඔවුන් එක්ක ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනෑ දිවි පිදූ ඒ හැටදාහක් වූ සහෝදර සහෝදරියන්ගේ අරමුණ ඉටු කිරීමයි අපි හැමෝගේම වගකීම ඒකයි.”
“අපිට පෞද්ගලික අත්දැකීම් තිබෙනවා. පොදු අරමුණක් තිබෙනවා. ඊට අදාළ දේශපාලන විග්‍රහයක් තිබෙනවා. මේ තත්වය තුළ පෞද්ගලික අත්දැකීම් එච්චර කියන්න ඕන නැහැ. නමුත් නොවැ.13 මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්න යන්නේ. මේ දවසේ මම හිටියේ වැලිකන්ද වධකාගාරයේ. ටිල්වින් සහෝදරයා හිටියේ මැගසින් වධකාගාරයේ. අපේ සහෝදරවරු ඒ අරගලයේ ඒ ඒ තැන්වල ක්‍රියාකාරීව සිටියා. සහෝදරියොත් එහෙමයි. ඒ දවස්වල අපිට දෙන්නේ දිණමිණ පත්තරේ. අරගල කරන අය මානසිකව බිඳවට්ටන්න පළකරන ප්රවෘත්ති තමයි සම්පූර්ණයෙන්ම පළකර තිබුණේ. මට මතක විදියට 14 පත්තරේ ගමනායක සහෝදරයා ගැනත් තිබුණා. පොලිස් නිලධාරී මහත්තයෙක් පත්තරේ ගෙනත් දීලා ‘දැන් ඔක්කොම ඉවරයි නායකයෝ ඔක්කොම ඉවරයි. දැන් වත් ඔයගොල්ලෝ ඕක අත්හරින්න’ කියලා. මොකද අපි හිරගෙවල්වල ඉන්නකොටත් වධකාගාරවල ඉන්නකොටත් අරගලය අත්හැරියේ නැහැ. මේ අපි හැමෝම එදත් අත්හැරියේ නැහැ. අදත් අතහැරලා නැහැ. අත්හරින්නෙත් නැහැ. අරමුණ ජයග්‍රහණය කරනකල් අතහරින්නේ නැහැ.”
“ටික දවසකට පස්සේ පොළොන්නරුවේ වයිඑම්බීඒ වධකාගාරයට මාරු කළා. එතන හිටපු සහෝදරයෝ තවත් අය මෙතන ඉන්නවා. ඒ ඇතුළෙත් අපි දේශපාලන සාකච්ඡා කළා. පංති පැවැත්වුවා. හැම තැනකම එහෙම කළා. කඳවුරුවල, කැලෑවල එහෙම කළා. අපි කවුරුත් මේක අත්හැරියේ නැහැ. ඒවා කරන්න ගිහින් අපි තවත් දඩුවම්වලට ලක්වුණා. පොළොන්නරුවේ ජයලත් සහෝදරයා මෙතන ඉන්නවා. වයිඑම්බීඒ කඳවුරේදිත් අපි පංති කළා. පංති කරලා අහුවුණා. දවස් 8ක් අත්දෙකට මාංචුදාලා කකුල් දෙකට දම්වැල් දාලා උඩුබැලි අතට එල්ලලා තිබ්බා. අපි හැමෝටම ඒ වගේ අත්දැකීම් තිබෙනවා. ඊට පස්සේ බූස්සට දැම්මා. එතකොට බූස්ස කඳවුරේ අපේ නායකයා ගලප්පත්ති අයියා. අපි හැමෝම ඒ ඒ තැන්වල වැඩ කළා. ඒ හැමතැනක්ම දේශපාලනයේ අධ්‍යාපන කඳවුරු බවට පත්කර ගත්තා. මේ අරගලය කවදාවත් නතර වුණේ නැහැ. සමහර සහෝදරවරු විදේශගත වුණා. එහෙත් අරගලය නතර කළේ නැහැ.”
“1994න් පස්සේ අපි අලූත් ආකෘතියකට සටන් කරගෙන ආවා. අපි දැන් සෑහෙන කාලයක් මේ සටනේ ඇවිත් තිබෙනවා. 1983 අපේ පක්ෂය තහනම් කරනකොට අපේ නායක සහෝදරවරු කිවුවේ ‘අපිට දේශපාලනය කරන්න ජේආර් ජයවර්ධනගෙන් ලයිසන් ඕන නැහැ, එයා දෙන රූට් පර්මිට් අපිට ඕන නැහැ කියලා.’ නිර්ධන පංතියේ ජයග්‍රහණය වෙනුවෙන් අපිට දේශපාලනය කරන්න තියෙන අයිතිය දේශපාලනය තහනම් කිරීමෙන්වත් අවලාදවලින්වත් හැටදහසක් ඝාතනය කිරීමෙන්වත් නතර කරන්න බැරිවුණා. සහෝදර සහෝදරියෝ කිසිවෙක් ඒ දේශපාලන අයිතිය අත්හැරලා නැහැ. අපේ මිය ගිය නායකයන්ගේ හඬ, ඒ හයිය තමයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. 83ට කලින් තිබිච්ච හැම මැතිවරණයකට අපි ඉදිරිපත් වුණා. සංවර්ධන සභා මැතිවරණයට ඉදිරිපත් වුනා. අපි ජයග්‍රහණ ලැබුවා. 82 ජනාධිපතිවරණය ආවා. රෝහණ විජේවීර සහෝදරයා ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කළා. ඊට පස්සේ ජනමත විචාරණය ආවා. ගොඩක් අය මේක අත්හැරලා ඉන්නකොට ආණ්ඩුවේ වුවමනාව පරාජය කරන්න දැවැන්තම වැඩකොටස කළ පක්ෂය අපි. ජේආර් ජයවර්ධනට 77 මැතිවරණයෙන් ලැබුණු 5/6ක බලය රැකගන්න වංචාකාරී ජනමතවිචාරණයක් පැවැත්වුවා. රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අපේ පක්ෂය ඊට විරුද්ධව අධිකරණයට ගියා. ඊට පස්සේ 83 පක්ෂය තහනම් කළා.”
“එයාලා 82 ජනාධිපතිවරණයේදී අපිට ලැබුණු ඡන්ද ප්‍රමාණය ගණනය කරලා පාර්ලිමේන්තුවට යන්න තිබුණු අවස්ථාව ජනමත විචාරණයෙන් නැති කළා. පාර්ලිමේන්තු මාවතේ අරගලය අපිට අහිමි කළා. නමුත් ඒ අයිතිය දිනාගන්න අපේ සහෝදරවරු සටන් කළා. මෑතකාලයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති එයාගෙ මල්ලි බැසිල් රාජපක්ෂ ඒ වගේම එයාගෙ වලව්වේ කුස්සියේ දංකුඩ කාපු දේශපාලඥයෝ ටිකයි එකතු වෙලා, අපිව මේ දේශපාලන ක්‍රියාමාර්ගයෙන් පැත්තකට ඇදල දාන්න අලූත් ඡන්ද ක්‍රමයක් ගෙනාවා. ඒ ගොල්ලෝ හැර අනෙක් ඔක්කොම අතුගාලා දාන්න පළාත් පාලන ඡන්ද ක්‍රමයක් ගෙනාවා. අපි ඒ ඡන්ද ක්‍රමයට විරුද්ධව සටන් කළා. ඒ සටනෙන් අපි දිනුවා. අපි අලූත් ඡන්ද ක්‍රමයක් ගෙනාවා. ඒ ඡන්ද ක්‍රමයට අනුව ජනවාරි මාසයේ මැතිවරණයක් එනවා. ඒ මැතිවරණයෙන් අපි ජයග්‍රහණ ලබනවා.”