බෞද්ධ සංකල්ප නව ව්‍යවස්ථාවට ඇතුල් කරන මෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව මගින් සමානාත්මතාව සහතික කිරීම සඳහා බෞද්ධ සංකල්ප මාලාවක් ඇතුලත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

කරුණා, මෙත්තා, මුදිතා, උපේක්ඛා සහ අහිංසා යන පංච ශික්ෂා රැකීම සඳහා වන වගන්තියක් නව කෙටුම්පතට ඇතුලත් කරන ලෙස පුරවැසි කණ්ඩායමක් විසින් එම ඉල්ලීම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපති ඇතුලූ මෙහෙයුම් කමිටු සාමාජිකයින් වෙත යවන ලද ලිපියකිනි.
“ආණ්ඩුකරණයේදී සියල්ලන් සමානයින් ලෙස සළකමින් කුල, පංති, ආගම්, ජනවර්ග සහ ස්ත්‍රී පුරුෂ භාවය නොතකා කරුණා, මෙත්තා, මුදිතා, උපේක්ඛා සහ අහිංසා යන ශික්ෂා සැම උත්තරීතර ශික්ෂා ලෙස සියලූ කල්හි පිළිගනිමින් රාජ්‍ය හා ආණ්ඩුව ඒවා ප්‍රගුණ කළ යුතුය,” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලූතින් ඇතුලූ විය යුතු බව ඔවුහු යෝජනා කරති.

“කරුණා යනු අනුන් වෙත දක්වන ඉවසිම, දයාව වේ මෙත්තා යනු සියල්ලන් වෙත දක්වන සොඳුරුබව, මිත්‍රත්වය, යහපත් ගුණගරුක බව වේ. මුදිතා යනු අනුන් සම්බන්ධයෙන් දක්වන ස්වාර්ථකාමයෙන් තොර අවංක සංවේදී සතුට වේ. උපේක්ඛා යනු ක්ෂාන්තිය, වෙනසකින් තොරව සම සිතින් සැළකීම වේ. අහිංසා යනු හිංසනයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් තොර සීලවන්ත ක්‍රියාකාරිත්වය වේ.”

“මෙම උතුම් පංච ශික්ෂා මත පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ස්ථාපිත කොට පවත්වා ගැනීම පිණිස සියලූ පුරවැසියන්ට ඔවුන් සතු සිවිල්, දේශපාලනික, සමාජීය හා ආර්ථීක, සංස්කෘතික, පාරිසරික සහ අධ්‍යාපනික අයිතීන් පූර්ණ ලෙස බුක්ති විඳීමේ සම අවස්ථාවන් සහතික කිරීම රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතනවල මූලික වගකීම වේ,” යනුවෙන්ද සඳහන් කරන ලෙස ව්‍යවස්ථා මණ්ඩලය වෙත 6 සඳුදා යවන ලද ලිපියේ සඳහන් වෙයි.

යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ සෙල්වි තිරුචන්ද්‍රන්, මාධ්‍යවේදී කුසල් පෙරේරා, වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස්, එම්.සී.එම් ඉක්බාල්, සුනේත්‍රා රාජකරුණානායක, විජයානන්ද ජයවීර, ආර්ථීක විද්‍යාඥ ආචාර්ය නිශාන් ද මැල්, නීතිඥ ජීවනි කාරියවසම්, විශ්ව විද්‍යාල ඇදුරු විජය ජයතිලක, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, පරාක්‍රම නිරිඇල්ල, විශ්‍රාමික කෘෂි පර්යේෂක ආචාර්ය එච්. දොන් සුමනරත්න, මාධ්‍යවේදීනි ආචාර්ය පුෂ්පා රම්ලනි, ලලිත් අබේසිංහ සහ ක්‍රිෂාන් සිරිවර්ධනයි.