දියේ ගිලී සැඟව ගිය ජීවිත

ගත වූ පැය 24ක කාලය තුළ දියේ ගිලීමෙන්

පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

ඒ අනුව කල්පිටිය ඉලුප්පනතිව් දූපතේ නැවතී සිට ධීවර රැකියාවේ නියුතුව සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 65ක් වූ ජනසවිපුර, කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කල්පිටිය පොලීසිය හා කල්පිටිය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් අතුරුදන් වූ පුද්ගලයා සොයා විමර්ශන පවත්වයි.

මේ අතර මාරවිල පොලිස් වසමේ කුරුස පල්ලිය අසල මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු රළ පහරට හසුවී දියේ ගිලී අතුරුදන්ව තිබේ.

අතුරුදන්ව ඇත්තේ අවුරුදු 18ක් වූ කන්දවත්ත, වැලිපැන්නගහමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ තරුණයා තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සමග මුහුදේ දිය නාමින් සිටිය දී මෙලෙස රළ පරහට හසුව ඇති අතර ඉන් එක් තරුණයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇත.

මාරවිල පොලීසිය අතුරුදන්වූ තරුණයා සොයා වැඩිදුර විමර්ශන පවත්වයි.

(Ada derana)