නාමල්ගේ සමාගම් අධ්‍යක්ෂවරිය අත්අඩංගුවට ගත්තේ ඇයි? (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේෂන් ආයතනයේ අධ්‍යක්ෂවරියක වන ඉරේෂා ද සිල්වා කටුනායක ගුවන් තොටුපළේදී අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවා.

අබුඩාබියේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි ආගමන විගමන පාලකවරයා සඳහන් කර ඇත්තේ.

මීට පෙර ඇය අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු ද නිකුත් කර තිබුණා.

ඉරේෂා ද සිල්වා, අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා සිටි අතර, ඒ අනුව අබුඩාබියේදී ඇය අත්අඩංගුවට ගෙන පිටුවහල් කර තිබෙනවා.

ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගවර්ස් කෝපරේටඩ් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදී සිදු කිරීම ඇතුළු අධීචෝදනා 11 යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබූ නඩුවකට අදාළවයි.

මෙම නඩුවට අදාළ විත්තිකරුවන් දෙදෙනෙකු වූ නිතීඥ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔනෙලා ඉරේෂා සිල්වා රටින් පළා ගොස් සිටියහ.


රටින් පලාගොස් ඇති දෙවන හතරවන විත්තිකරුවන් නොමැතිව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කරනු ලැබුවේ, පසුගිය මස 18 වන දා ය.


ඉරේෂා සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් විවෘත වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවේ, පසුගිය පෙබරවාරී 9 වන දායි.


අත්අඩංගුවට ගැනීමට අදාල වීඩියෝව පහතින් නැරබිය හැක.