ශ්‍රීලනිප කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථීරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථීර බවත් සැප්තැම්බර් මාසය තීරණාත්මක මාසයක් වනු ඇති බවත් සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නි. ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා ලක්බිම පුවත්පත ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත.


පාර්ලිමේන්තුවේ තීරණාත්මක අවස්ථාවකදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කර ආණ්ඩුවෙන් ඉවත් වීමට තමා ඇතුළු කණ්ඩායම තීරණය කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හා තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කළ නොහැකි බව තමා ඇතුළු කණ්ඩායම කළ කරුණු පැහැදිලි කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා ඕනෑකමින් සවන්දීම සාධනීය තත්ත්වයක් බවත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කරනු ඇතැයි විශ්වාසයක් පවතින බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා පැවැසීය.

ජනාධිපතිවරයා සමග පැවැත් වූ සාකච්ඡාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද සහභාගි වූ බවත් මහින්ද සමග සිටින හොරු කණ්ඩායම නැවත පක්ෂයට ගත යුතු නැතැයි ඇය එහිදී දැඩි ලෙස ප්‍රකාශ කිරීම නිසා ඇය සමග වාදයක්ද ඇතිවූ බව ප්‍රනාන්දු මහතා පැවැසීය. ඒ කණ්ඩායම හොරු නම් වත්මන් ආණ්ඩුව ඇතුළේත් මහ හොරු සිටින නිසා ආණ්ඩුවේ සිටීම කිසිසේත් සුදුසු නොවන බව තමා එහිදී ප්‍රකාශ කළ බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා පැවැසීය.
තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන බවද හෙතෙම සඳහන් කළේය.