නොවැම්බර් 10 ජොන්ස්ටන් මොනවා වෙයිද?

2010 - 2014 වසර 5 සඳහා වත්කම්, බැරකම් හෙළි නොකිරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩු 5, චෝදනාවලට ඔහුව නිදොස් කර නිදහස් කරන්නැයි විත්තියේ නීතිඥයා කළ ඉල්ලීම ගැන නියෝගය ලබන නොවැම්බර් 10 දින ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද(08) දැනුම් දී තිබෙනවා.

අද පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කළ අතර පරීක්ෂණ පැවැත් වූ අල්ලස් කොමිසමේ ප්‍රධාන විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි දී තිබෙනවා.

එහිදී විත්තියේ නීතිඥවරයා අසා ඇත්තේ සැකකරුට එරෙහිව චෝදනා සනාථ කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන ඇමතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ වත්කම්- බැරකම් ප්‍රකාශ දීම ගැන ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්නේද යන්නයි.

එහිදී ප්‍රධාන විමර්ශන නිලධාරියා පවසා ඇත්තේ එසේ ඉදිරිපත් නොකරන බවයි.

පැමිණිල්ලේ අසම්පුර්ණ පරීක්ෂණ නිසා සැකකරු වන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කර නිදහස් කරන්නැයි විත්තියේ නීතිඥවරයා එහිදී ඉල්ලීමක් කළා.