තවමත් නොකැපූ පොළොන්නරු ගෝත්‍රික බවේ වලිගය

වසර විස්සකට පෙර ජූඩි ෂෙපර්ඩ් නම් ඇමරිකානු මාතාව සමස්ත මානව වර්ගයාගෙන් සංවේදී සහ අවවාදාත්මක ඉල්ලීමක් කරනු ලැබුවාය. 

"The next time you use words like these, think about what they really mean.”

"ඔබ නැවත වතාවක් මෙවැනි ආකාරයේ වදන් භාවිතා කිරීමට පෙර ඒවායෙන් උපදින අරුත කුමක්දැයි සිතා බලන්න" ඇය අමානුෂික ලෙස ඝාතනය වූ විසි එක් හැවිරිදි මැතිව් ෂෙපර්ඩ් නම් ගැටවරයාගේ ආදරණීය මාතාවය. සමකාමියෙකු වීමේ හේතුවෙන් බීමත් මිතුරන් දෙදෙනෙක් විසින් කෘර ලෙස තාඩන පීඩනයට ලක් කර අවසානයේ ලී වැටක බැඳ දැමූ මැතිව් අවසානයේ රෝහල්ගත කළ ද දින හයක් සිහි විසඥව හිඳ සමකාමීත්වය ගැරහීමට ලක් කරන ලෝකය යළි නොම දකිමින් අවසන් සුසුම් හෙළීය. 

ජූඩි ෂෙපර්ඩ් තම පුත්‍රයා අත්නොවිඳි මිනිසත් කම උදෙසා සමස්ත ලෝකයෙන්ම ආයාචනා කළාය. 
"ඔබ නැවත වතාවක් මෙවැනි ආකාරයේ වදන් භාවිතා කිරීමට පෙර ඒවායෙන් උපදින අරුත කුමක්දැයි සිතා බලන්න" 

සාමාන්‍ය ඇමරිකානු කාන්තාවක වූ ජූඩි ෂෙපර්ඩ් මනුෂ්‍යයෙකුගේ පුද්ගලිකත්වය ; ලිංගික නැඹුරුතාව පිළිබඳ එලෙස දකිද්දී; දකුණු අප්‍රිකානුවන්ගේ හදවත බඳු වූ නායකයා ; නෙල්සන් මැන්ඩෙලා තම වැඩිමහල් පුතුණුවන්ගේ පුද්ගලික කරුණක් ලොවට හෙළි කිරීමට තීරණය කළේය. 

2005 වසරේ දී මැක්ගතෝ මැන්ඩෙලා නම් වූ ඔහු ජීවිතක්ෂයට පත් වූයේ HIV ආසාදනය හේතුවෙනි. නෙල්සන් මැන්ඩෙලා එම කරුණ ලොවෙන් සැඟවීම ප්‍රතික්ෂේප කළේය. "Let us give publicity to HIV/AIDS and not hide it, because the only way to make it appear like a normal illness like tuberculosis, like cancer, is always to come out and say somebody has died because of HIV/AIDS, and people will stop regarding it as something extraordinary."

" HIV ගැන ප්‍රචාරය දෙනවා විනා එය සැඟවීමෙන් වළකින්න. එය ක්ෂය රෝගය හෝ පිළිකාවක් මෙන් සාමාන්‍ය රෝගයක් ලෙස සමාජගත කිරීමට නම් කළ යුතු එකම දේ වන්නේ අසවලා මියගියේ HIV ආසාදනයෙන් බව නොසඟවා ප්‍රකාශ කිරීම තුළින් ය. ඉන් පසුව හෝ මිනිසුන් එය අසාමාන්‍ය දෙයක් ලෙස සැලකීම නවත්වනු ඇත"

නෙල්සන් මැන්ඩෙලා වර්ණභේද වාදය වෙනුවෙන් සටන් වැදුණේය. මානව වර්ගයාගේ අයිතීන් උදෙසා අරගල සිරබත් කෑවේය. තම පුතුගේ දුක්ඛදායක ඉරණම පවා මානව වර්ගයාගේ යහපත උදෙසාම නොසඟවා හෙළිදරව් කළේය. සම කළු පැහැයෙන් දිදුලන ඒ උදාරතර මිනිසා ඉතිහාසගත නායකයෙක් ලෙස අදටත් සිහි ගැන්වෙන්නේ එබැවිනි. 

මිත්‍රවරුනි ; 

ජූඩි ෂෙපර්ඩ්ගෙන් හෝ නෙල්සන් මැන්ඩෙලාගෙන් පාඩම් උගෙන ගැනීමට තරම් ලංකාවේ පාලකයන් දියුණු මට්ටමකට පැමිණ නැත. අර්ධ තිරස්චීන ශිෂ්ඨාචාරයක් නඩත්තු කරමින් ; එහිම ලැග කුණු රස බුදිමින් සිටින ලංකාවේ ජනපතිවරයා තවමත් ලිපේ තිබෙන හට්ටිය බාන්නට ඇඳ සිටින අමුඩයම යොදා ගනිමින් සිටිනු නොපෙනේද ? 

2015 ජනපතිවරණයට සතියකට පමණ පෙර ස්වාධීන රූපවාහිනියේ විකාශය වූයේ හිඟුරක්ගොඩ , කිඹුලාවල පදිංචි කාන්තාවකගේ සැමියා සහ පුත්‍රයා දමා බොරු චෝදනා නගමින් තම චරිතය ඝාතනය කරන්නට උත්සාහ කළ රාජපක්ෂ නඩය සමග එකම වේදිකාවක නැග මෛත්‍රීපාල සිරිසේන අද කතා කරන්නේ රනිල් වික්‍රමසිංහගේ සහ අනෙක් කවර පාර්ශ්වයක හෝ ලිංගික නැඹුරුතාවය පිළිබඳවය. 
රාජපක්ෂ රෙජීමයට එරෙහිව මිනිසුන් සහාය පල
කළ පොදු අපේක්ෂකයා වසර තුනක් ගතවන තැන රාජපක්ෂ වේදිකා මත විසුළු කරණම් පාන ; අණ ලැබූ සැණින් කැවුම් ගෙනියන හැටි පෙන්වන රිලා පෝතකයෙක් වී හමාරය. මල් මල් කලිසම ද අභිබවා මේ වැනෙන්නේ තවමත් නොකැපූ පොළොන්නරු ගෝත්‍රික බවේ වලිගයයි. 

දකුණු අප්‍රිකාවට සිටියේ මානව වර්ගයාගේ යහපත උදෙසා තම පුතුට වැළඳුණු මාරාන්තික රෝගාබාධය ද ලොවට හෙළිදරව් කළ උදාරතර නායකයෙකි. 

ලංකාවට සිටින්නේ බලයට ඇති කෑදර කමට අනෙකාගේ කලිසම ඇතුළේ ඇති දෑ සොයමින් නන් දොඩවන වන තුට්ටු දෙකේ නායකයෙකි. 

- සහන් කසීර වික්‍රමසිංහ -