ආචාර්යවරු සහ ආචාර්ය “හොරු”

 

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී ඇත්තේ ඉතිහාසයේ කිසිදා නොඇසූ විරූ භයානක ඛේදවාචකයකටය. ජනතාව විසින් සිය ඡන්දයෙන් පත් කළ නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අත්තනෝමතික ලෙස වාරාවසාන කර ඇත. රටේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා සිටියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස වෙනත් අගමැතිවරයෙකු පත් කරමින් ජනතා නියෝජිතයන් කෝටි ගණන්වලට මිලට ගනිමින් සිටින මොහොතක ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන් ගත යුත්තේ කුමන පාර්ශවයක් ද යන්න පිළිබඳව විවාදයක් තිබිය හැකිද? විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටියේ මෙම ආස්ථානයේ පිහිටා ය.

නමුත් මේ රටේ අවස්ථාවාදී දේශපාලකයන්ට සිය ආත්මය නිර්ලජ්ජී ලෙස පාවා දෙමින් ඔවුන්ගේ පටු ජාතිවාදී ආගම්වාදී සහ ශාස්ත්‍රීය ලෝකයට නිගාදෙන මුග්ධ අදහස් මුදුන්පත් කර ගැනීමට වෙර දරන විද්වතුන් යැයි කියා ගන්නා පිරිසක් ද සිටීම දරුණු ඛේදවාචකයකි. ව්‍යාජ අගමැතිවරයා පත් කළ සැනින් “පංචවිධ යෝජනා”යැයි කියාගන්නා සිය පටු ජාතිවාදී ලිංමැඩි යෝජනා කීපයක් ද රැගෙන මහින්ද රාජපක්ෂගේ දෙපතුල් ළඟට දිව ගිය ආචාර්ය - මහාචාර්ය “හොරු” දකින විට ඇතිවන්නේ දරාගත නොහැකි පිළිකුලකි. නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පත් කරන ලද දූෂිත අගමැති දැකීමෙන් මහත් උත්කර්ෂයට පත් වී ඇති මොවුහු විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂගේ සට්ටැඹි පිරිසකගේ සංගමයක් වූ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හරහා ය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගාධයට යාමත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය අභිමුව අපකීර්තියට පත්වීමත් පිළිබඳව මොවුන්ට ඇත්තේ ප්‍රීතියකි. සිය කැමැත්තෙන් රාජපක්ෂ පවුලේ සට්ටැඹියන් ලෙස ක්‍රියා කිරීමට යන මොවුන්ට ආචාර්ය පදවි කුමකටද? ළිං මැඩියන් ලෙස ශ්‍රී ලංකාවේ සියලු ජාත්‍යන්තර සබඳතා ප්‍රතික්ෂේප කරමින් ඔවුන් සිය යෝජනා හරහා උත්සාහ කරන්නේ වනචාරී ගෝත්‍රික පිරිසක් ලෙස දිවි ගෙවීමට යි. එහිදී මහින්ද රාජපක්ෂ යනු ඔවුන්ගේ ගෝත්‍රික නායකයා ය. එවැනි ගෝත්‍රික සමාජයකට ප්‍රජාතන්ත්‍රවාදයෙන් හෝ අයිතිවාසිකම්වලින් පලක් නැත; රාජ්‍ය නොවන සංවිධාන හෝ විදේශාධාර වුවමනා නැත; නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය රජෙක් සහ රජ පවුලකි; යටත්වැසියන් ලෙස රජ කාලයේ දඬුවම් ය; මිනී ඇටකටු සහ ගල් යුගයේ මෙවලම් ය; ගෝත්‍රික සටන් ය.

මහින්ද රාජපක්ෂ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකාවේ ව්‍යාජ අගමැති මොවුන්ට මේ සියලු දේ සපයන පරමාදර්ශී පුරුෂයාය. මෙවැන්නෙක් පසුපස යාමට උපාධි ලබාගෙන ආචාර්යවරු බවට පත් විය යුතු ද? නමුත් හොරු සමග හෙලුවෙන් සිටගෙන සිටින ඔවුන්ට තම හෙලුව පෙනෙන්නේ නැත. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගාධයට තල්ලු කරමින් විද්වතුන් යැයි තමාවම හඳුන්වා ගනිමින් නිර්ලජ්ජී ලෙස මහින්ද රාජපක්ෂ පසුපස යන ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ හෙළුව ඔවුන්ට හැර රටටම පෙනෙන බව පමණක් මෙහි ලියා තබමි.

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය

රුහුණ විශ්වවිද්‍යාලය