" තෙත් ගිරිකඳුරු දිගේ... සෙමින් ඇවිද යනු මැන , අවසන් වරට... "

" තේ වැවූ ඉඩමක් බෑවුමෙහි ඝණට වැවුනු ගෝතමාලා පඳුරු ගොන්නකි. දිය සෙවල බැඳුණු ගල් අතරින් රූරා වැටෙනා අනන්ත අප්‍රමාණ දිය කඳුරු එකතු වී ගෝතමාලා පඳුරු අතරින් ගලා බසී..දියපාරේ කෙලවර ඝණව වැඩුණු රූස්ස වනාන්තරයකි. හාත්පස මීදුමෙන් වැසී ගිය සීතල මැදින් , සෙමින් බර අඩි තබමින් පරිස්සමට ගල් අතරින් බෑවුමට බසිනා දැවැන්‍තයෙකි. තඹවන් සිරුර පුරා පැතිරී ගිය ඝණ රෝමයන්‍ ය. කන් තල හා නළල රෝස පැහැති ගෝමර වලින් වැසී ඇත. කහ පැහැ ගැන්වුනු කුඩා දල යුවළක් දෙතොලින් පිටට මෝදු වී තිබේ.. ශක්තිමත්ව මනාව වැඩුණු බාහු සහිත ඔහු අන්වර්ථනාමයෙන් " සිංහරාජා " හෙවත් " පණුකොටාය ". ඔහු ශ්‍රීලංකාවේ වාසය කරනා අවසන් තෙත් කලාපීය අලින් කිහිපදෙනා අතරින් මිනිස් ඇසට දැකිය හැකි අවසන් අලි දෙදෙනාගෙන් එකෙකුය.. 
සිංහරාජ රක්ෂිතය හා ආශ්‍රිත ප්‍රදේශ වාසභූමිය කරගත් මෙම අලින් දෙදෙනාගේ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පසුගිය වසරේ දිත් මෙවැනිම සමාජ කතිකාවක් ඇතිවී තිබුණි. ඒ සමග එවකට වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා හා වනජීවී දෙපාර්තමේන්තු නිළධාරීන් හමුවී මෙම අලින් දෙදෙනාගේ හා ගම්වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ද යෝජනා කළෙමු. JPS කරපටි අලින් දෙදෙනාට පැළඳවීමටත්, අලින් දෙදෙනා ගැවසෙන ප්‍රදේශයේ වනජීවී බීට්ටු කාර්‍යාලයක් ඉදි කිරීමත් එහිදී ප්‍රමුඛ විය.එහෙත් සුපුරුදු පරිදි එම යෝජනා කුණුකූඩයට ගිය අතර මඳ සමය අවසන් වීමෙන් පසු අලින් දෙදෙනා නැවත වන වැදුණි. නැවතත් වසරකට පසු අලින් දෙදෙනා ගම්වැදුණු අතර පසුගිය 18 වන දින රාත්‍රියේ මිනිස් ඝාතනයක් සිදුකර තිබුණි . මෙම සිදුවීමත් සමග නැවතත් මෙම අලි දෙදෙනා අල්වා ඉවත් කිරීමට නව වනජීවී ඇමතිවරයා තීරණය කල අතර, මෙම අල්වා ඉවත් කිරීමේ ඇති අවිදිමත් බව දිගින් දිගටම ඔහුට පැහැදිලි කිරීමට උත්සාහ කළෙමු. මෙම අලින් දෙදෙනාගේ ආහාර රටාවේ පටන් හැසිරීම හා විවිධ කරුණු පිළිබඳව පෙන්වා දුන්නෙමු. එහෙත් වනජීවී සංරක්ෂණයේ " අ " යන්නවත් නොදත් මෙම විෂයභාර ඇමතිවරුන්ට එය බිහිරි අලින්ට වීණා වැයීමක්ම විය. 
මෙම අලින් දෙදෙනා සම්බන්ධයෙන් දීර්ඝකාලීනව අධ්‍යනය කල පරිසරවේදී නයනක රන්වැල්ල මහතා හා සිදුකල සාකච්ඡාවකදී එතුමා සඳහන් කලේ ,

" මේ අලින් දෙදෙනා ඉතා සංවේදී සතුන්. වර්ෂා සමයේ සිදුවන අකුණු ගැසීම් වලදී ඝණ වනාන්තරයේ ගල් අස්සෙ සැඟවෙනවා.ඒ වගේම ඉතා කුඩා දිය කඩිති වල ජලය ඉස ගන්නා ආකාරයත්, ආහාර වශයෙන් කිතුල් සඳහා විශේෂ රුචිකත්වයක් දක්වන බවත් මා නිරීක්ෂණය කර තිබෙනවා. මේ සතුන් හොරොව්පතාන වගේ වියලි ප්‍රදේශයකට ගෙනගොස් දැමූ පසු සම්පූර්ණයෙන්ම ආහාර රටාව වෙනස් වෙනව. පළමු ගිගුරුම් සහිත වර්ෂාවේදීම නිසැකවම මිය යනවා "
එතුමා සඳහන් කල අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් ඇති විසඳුම් ලෙස නැවත නැවතත් පෙන්වා දිය හැක්කේ මෙම සතුන් මෙම පරිසරයේම තබා නිරීක්ෂණය සඳහා නිවැරැදි ක්‍රමවේදයක් හඳුන්වාදීමත්, ගම්වැසියන් අතර ආරක්ෂක කමිටු පිහිටවා වනජීවී නිළධාරීන් හා සම්බන්ධ කරගනිමින් නිවැරැදි විද්‍යාත්මක සංරක්ෂණ වැඩපිළිවෙළක් හඳුන්වාදීමය. එහෙත් සියල්ල දත් යැයි සිතනා අමනෝඥ ඇමතිලාට මෙම සරල සත්‍ය හෝ වැටහේවිදැයි සැක සහිතය.

Shashikalana Ratwatte .