යළිත් සැරිසරන මොහාන් පිරිස්

 


තරිඳු උඩුවරගෙදර
හිටපු නීතිපතිවරයෙකු වන, නිල වශයෙන් හිටපු අගවිනිසුරුවරයෙකු නොවන නමුත් අගවිනිසුරු ධූරයේ කලක් කටයුතු කළ මොහාන් පීරිස් සහ වත්මන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඒ.එච්.එම්.ඩි. නවාස් යන දෙපළ ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් ජනවාරි 18 වැනිදා සිතාසි නිකුත් කර තිබුණු අතර පෙබරවාරි 26 වැනිදා නඩුව විභාගයට ගන්නට නියමිතව තිබුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙබරවාරි 26 වැනිදා නියෝගයක් නිකුත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්ධයෙන් අභියාචනයක් විභාග වන නිසා එය අවසන්වනතුරු මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව විමසීම වළක්වමිනි.
මෙසේ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම නඩු පවරන්නට හේතුව වී තිබුණේ ලංකා විදුලි පෞද්ගලික සමාගමට ඉඩම් හා දේපල මිලදී ගැනීමේදී සිදුව තිබුණු අක්‍රමිකතා සහ ඒවා සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට නඩු පැවරිය යුතුව තිබියදී එය වැළැක්වීමේ අරමුණෙන් අයුතු සහගත ලෙස නීතිපති වාර්තාවක් ලබාදීම සම්බන්ධයෙනි. ඒ.එච්.එම්.ඩී. නවාස් සහ මොහාන් පීරිස් එකල නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කළ අතර මොහාන් පීරිස් එකල නීතිපතිවරයා ද නවාස් මහතා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්ද විය.
මොහාන් පීරිස් මහතා ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම අගවිනිසුරුවරයාට හිමි ‘ගෞරවය’ නොලැබෙන්නේ සරත් නන්ද සිල්වාගේ ක්‍රියාකලාපය සහ කුප්‍රකට දෝෂාභියෝගයෙන් පසුව මොහාන් පීරිස් මහතා පත්වීමම නීතිවිරෝධී නිසා පමණි. දෝෂාභියෝගයෙන් ශිරාණි බණ්ඩාරණායක මැතිණියව පත්කිරීම නීතිවිරෝධී නිසා ශිරාණි බණ්ඩාරණායක මැතිණියට 2015 ජනවාරි 08 වැනිදායින් පසුව යළි අගවිනිසුරු ධූරයේ කටයුතු කරන්නට අවස්ථාව ලැබුණු අතර ඇය ඒ මොහොතේ ඉල්ලා අස්වුණු නිසා 43 වැනි අගවිනිසුරුවරිය වූ ඇගෙන් පසුව ශ්‍රීපවන් අගවිනිසුරුවරයා 44 වැනි අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දුන්නේය. එහෙත් නීතිවිරෝධීව වුවමොහාන් පීරිස් මහතා කලක් අගවිනිසුරු ධූරයේ කටයුතු කර ඇති නිසා ඔහුට දෙවැනි අපකීර්තිමත්ම අගවිනිසුරුවරයා විය හැකිය. මොහාන් පීරිස්ගේ ක්‍රියාකලාපය ඒ තරම්ම අපකීර්තිමත්ය.
මොහාන් පීරිස් මහතා ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරුවරියට එරෙහි නීතිවිරෝධී දෝෂාභියෝගයෙන් පසුව රාජපක්ෂ රජය විසින් අගවිනිසුරු ධූරයට පත්කළේ කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක තනතුරේ කටයුතු කරද්දීමය. ආණ්ඩුව සමඟ නොනිසි සම්බන්ධතාවයක් ඇති බවට ඒ තනතුරට වඩා සාක්ෂියක් කොයින්ද. මහබැංකුවේ නීති උපදේශකයෙකු ලෙසද ඔහු එකල වැටුප් ගත්තේය. එපමණක් නොව අගවිනිසුරුවරයා පෞද්ගලික බැංකුවක සභාපති ධූරයේද කටයුතු කළ අයෙකි.
අගවිනිසුරු ධූරයට පත්වුණාට පසුව මොහාන් පීරිස් හිටපු අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය ගැන කෙළවරක් නැතිව කතාකළ හැකිය. කොටින්ම මේ අගවිනිසුරුවරයා අලුත් අවුරුදු දා ගැත්තෙක් මෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාල්ටන් නිවසේ අලුත් අවුරුදු උත්සවයටද සහභාගි විය. 2014 ජනාධිපතිවරණය සමීපයේ මහින්ද රාජපක්ෂ මහතාට තෙවතාවක් විධායක ජනාධිපති ධූරයට පත්විය නොහැකි බවට සුපැහැදිලි නීති තර්කයක් තිබියදී මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයට සහභාගි විය හැකි බවට තීන්දුවක් ලබාදුන්නේය. ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේ අත්දැකීම් ලත් ප්‍රවීණයන් ඇතුළු බොහෝදෙනෙකු පැහැදිළිව කී කාරණාවලට පිටින් යමින් මේ තීන්දුව ලබාදෙන බව සියළුදෙනාම අවබෝධ කරගෙන සිටියේ තීන්දුව ලබාදීමට පෙර සිටමය. ශ්‍රේෂ්ඨාධිකරණය ගැන ඔහුගේ ධූර කාලයේ ජනතාවට තිබුණු විශ්වාසය එබඳුය.
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් කුප්‍රකට 2015 ජනවාරි 08 වැනිදා කුමන්ත්‍රණය මොහොතේ අරලියගහ මන්දිරයේ සිටි බව ප්‍රසිද්ධ කාරණයකි. ඔහු කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂගේ නින්දිත උත්සාහයට සහාය දීමේ සූදානමකින්ද සිටි බව අප හොඳින් දන්නා කාරණයකි. මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන කොටසක් අගවිනිසුරුවරයාට පැවරී තිබුණි. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉදිරි වසර දෙකක් ධූරයේ රැඳී සිටිය හැකි බව තීන්දුවක් ලබාදීමයි.
එපමණක් නොව එදින කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසුව ඔහු නව ජනාධිපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රීපවන් මහතා ඉදිරියේ දිවුරුම් දුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව මුණගැසෙන්නටජනවාරි 10 වැනිදා ගොස් තිබුණි. බිරිඳත් සමඟ රාත්‍රියේ එලෙස පැමිණ තිබුණු ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසන ආකාරයට ඕනෑම තීන්දුවක් ලබාදීමට සූදානම් බව පවසා ඇත. ඒ බව ප්‍රසිද්ධියේ කීවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාමය. ඒ 2018 ජනවාරි 17 වැනිදා ඇල්පිටියේදීය. මෙසේ ජනාධිපතිවරයාට අවැසි ලෙස තීන්දු ලබාදීම වෙනුවෙන් මොහාන් පීරිස් මහතා ඉල්ලා ඇත්තේ අවුරුද්දක්වත් තමාට ධූරයේ කටයුතු කරන්නට අවස්ථාවයි. මෙලෙස දින තුනක් තමා හමුවීමට පැමිණි මේ අපකීර්තිමත් මිනිසාව නැවැත්වීමට සිදුව ඇත්තේ සැරෙන් කතාකිරීමෙන් පසුව බව ජනාධිපතිවරයා පවසා තිබුණි.
එක් ජනාධිපතිවරයෙක් වෙනුවෙන් නින්දිත කුමන්ත්‍රණයකට සහාය පළකොට දින දෙකකට පසු තවත් ජනාධිපතිවරයෙක් ළඟ බැගෑපත්වූ මේ නින්දිත මිනිසා විසින් රටේ අගවිනිසුරු ලෙස ලබාදී ඇති අපකීර්තිමත් තීන්දු ගණන මොනතරම් විය හැකිද.  අරලියගහ මන්දිරයේ නියෝග මත නඩු තීන්දු ලියැවුණු බවට තව සාක්ෂි අවශ්‍ය වනු ඇතිද.
අප මොනතරම් විවේචනය කළත් වත්මන් ආණ්ඩුව සමයේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙනුවෙන් තීන්දු ලබාදෙන්නේ නැත. මාසයකට පමණ පෙර එය තහවුරු වුණේ ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ පසුව ජනාධිපතිවරයාට අවාස සහගත තීණ්දුවක් ලබාදීම සමඟයි.
එහෙත් අධිකරණය ස්වාධීන වෙන්නට මේවා පමණක් ප්‍රමාණවත් නොවේ. අධිකරණ ක්ෂේත්‍රයේ දූෂිත විනිසුරුවරුන් සම්බන්ධයෙන් තීන්දු ගත යුතුය. ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුය. මේ සටහන අවසාන කළයුත්තේ ඒ සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් සමඟය.
චෝදනාව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙනුවෙන් මෙම නඩුවේදී පෙනීසිටීමට නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබීම ගැනයි. පෙබරවාරි 26 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙනුවෙන් පෙනී නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටි නිසා ස්වාධීන නීතීඥවරුන් පිරිසක් පෙනී සිටියේය.
කිහිපදෙනෙක් මෙලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමට පක්ෂව පෙනී සිටියත් නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළුව නීතී ක්ෂේත්‍රයම පාහේ ඒ චෝදනා ලත් විනිසුරුවරුන් වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්ත දැක්වූ බව පෙනෙයි. ඒ අතින් නීති ක්ෂේත්‍රය අපූරුය. තමන්ගේ ක්ෂේත්‍රය මත ඇති දුඟද අවබෝධ කරගෙන ඒ දුඟද නැතිකරන්නට උත්සාහ ගන්නවා වෙනුවට ඒ දුඟද යටපත් කරන්නට ඔවුන් උත්සාහ ගනිමින් සිටින බව පෙනෙයි. රන්ජන් රාමනායක මෑත දිනයක අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කී කතාවක් ගැන නීතීඥ සංගමය ඇතුළුව නීති ක්ෂේත්‍රය කලබල වුණත් චෝදනාලත් විනිසුරුවරුන් ගැන එලෙස කලබල වෙන බවක් නොපෙනෙයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වැනි ආයතනයක් අධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් දූෂණ නඩු පවරද්දී නීතිපති දෙපාර්තමේන්තුව දූෂිත විනිසුරුවරුන් වෙනුවෙන් නිහඬව සිටීම නොව තම උපරිමය යොදා දූෂණ චෝදනා අධිකරණයට ගෙන ආ ආයතනය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. නීතිපති දෙපාර්තමේන්තුව විශ්වාස කරන්නේ මේ අපකීර්තිමන් විනිසුරුවරුන්ද? නැතිනම් දූෂණ විමර්ශණයට ඇති ආයතනයදැයි අප විමසිය යුතුය.
කෙසේ වෙතත් මේ නඩුවේ කටයුුතු ඉදිරියටය. චෝදනාව ගැන අධිකරණයේ විභාග වෙද්දී ඒ ගැන කතාකිරීප පසුවට තැබීම වටියි. එහෙත් මේ ගැන විමසිල්ලෙන් සිටීම වැදගත්ය.